චීන තානාපති කාර්යාලයේ අසාදු ගත කිරීම ගැන මහජන බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්

ශී‍්‍ර ලංකාවේ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් මහජන බැංකුව කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බව පවසයි. බැංකුවෙහි අලෙවිකරණ දෙපාර්තමේන්තුව මගින් මෙම පැහැදිලි කිරීම සිදු කර සිටියි.

ඒ අනුව මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් බැංකුව අසාදු ලේඛනගත කර ඇති බව සිය අවධානයට ලක් වී ඇති බව මහජන බැංකුව මෙහිදී පෙන්වා දෙයි.

එහිදී එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදුකිරීම තාවකාලික අත්හිටුවා ඇත්තේ අදාළ වෙළඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බවද මහජන බැංකුව දැනටමත් චීන තානාපති කාර්යාලයේ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි පවසයි.

එසේම මෙම ගෙවීම් ප‍්‍රමාදයට එකම හේතුව වනුනේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකුලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටින බැවින් යන්න මහජන බැංකුවේ අදහස වී තිබේ.

ඒ අනුව දැනට කි‍්‍රයාත්මක වන නීතිමය බාධක ඉවත් කළ පසු, සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම කඩිනමින් කෙරෙනු ඇතැයි මහජන බැංකුව මෙහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරයි.

මහජන බැංකුව මගින් විවෘත කරන ලද ණයවර ලිපියක් මගින් මෙරටට ගෙන්වන ලද චීන කාබනික පොහොර තොගයක් සම්බන්දයෙන් වන ගෙවීම මේ දක්වා ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් මෙලෙස එම බැංකුව අසාදු ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. එහිදී මහජන බැංකුව සමගින් ගනුදෙනු නොකරන ලෙසටද චීන සමාගම් වෙත දැනුම් දී තිබුණි.

මෙලෙස ගෙන්වන ලද පොහොර තොගය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීම් දෙකකදීම එම කාබනික පොහොර තුළ මෙරට පසට අහිතකර සංඝටක පවතින බව හඳුනාගෙන තිබේ. ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම පොහොර තොගය ගොඩබෑම මේ දක්වා අත්හිටුවා තිබේ.

Visits: 117