CT Holdings සහ කාර්ගිල්ස් (සිලෝන්) සතු සංවර්ධන ව්‍යාපෘතීන් තනි දේපළ සංවර්ධන හස්තයක් යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත CT Holdings PLC සහ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී යන සමාගම් මගින් සිදු කරන සංවර්ධන දේපළ සංවර්ධන ව්‍යාපෘතින් ඉදිරියේදී තනි පරිපාලිත සමාගමක් යටතට හුවමාරු කිරීමට කටයුතු කරන බව එම සමාගම් පවසයි.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වුණු CT Holdings PLC සහ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල හමුවලදී මේ පිළිබඳව එකඟතාවකට පැමිණ තිබේ. ඊයේ දිනයේදී මේ පිළිබඳව දැනුවත් කරමින් එම සමාගම් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ඒ අනුව එම සමූහයේ දේපළ සංවර්ධන හස්තය ලෙස මෙම පරිපාලිත සමාගම කටයුතු කරනු ඇති බවත්, එය නිශ්චල දේපළ පරිපාලිත සමාගමක් (Real Estate Subidiary) ලෙස හැඳින්වෙන බවත් සමාගම් දෙකම සඳහන් කර සිටියි.

එසේම දැනට සමූහය යටතේ ක්‍රියාත්මක කෙරෙන ලැයිස්තුගත නොවුණූ නිශ්චල දේපළ / දේපළ සංවර්ධන පරිපාලිත සමාගම්හි වත්කම් සියල්ලමත් මෙම නිශ්චල දේපළ පරිපාලිත සමාගම වෙත හුවමාරු කිරීමක් සිදු කිරිමටද නියමිතව තිබේ.

එසේම මෙම නිශ්චල දේපළ පරිපාලිත සමාගමෙහි දේපළ සතු වටිනාකම් / හිමි වත්කම් පැවරීම් සහ මුද්දර ගාස්තු සහ සමාගම් දෙකමට අදාළ අනෙකුත් ඍජු බදු යනාදියත් අනුව CT Holdings PLC සහ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී යන සමාගම් ඊට සම්බන්ධ වන බවත් සමාගම් වැඩිදුරටත් පවසයි.

මේ අතර CT Holdings PLC සමාගම මගින් මෙම නිශ්චල දේපළ පරිපාලිත සමාගම වෙත අමතරව රුපියල් මිලියන 550ක මුදලක් ආයෝජනය කිරීමටත් සූදානමින් සිටියි.

මෙහිදි අදාළ හුවමාරුවන් සියල්ලම හැකිතරමින් වෙළෙඳ පොළ වටිනාකම් අනුව සිදු වන බවත් සමාගම්වල අදහස වී තිබේ.

එසේම මෙම ඉහත සඳහන් කළ කටයුතු සියල්ලම 2021/22 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව තුළදී නිමා කිරීමත් සමාගම් දෙකෙහිම බලාපොරොත්තුව වී ඇතැයි පවසයි.

විශේෂයෙන්ම සමූහයේ දැනට පවතින නිශ්චල දේපළ සංවර්ධන ව්‍යාපෘතින් සියල්ල තනි දේපළ වෙළෙඳාම් සමාගමක් යටතට පත් කරමින්, ඉදිරියේදී දියත් කරන දේපළ සංවර්ධන ව්‍යාපෘතින් වෙත අවශ්‍ය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කිරිමත් මෙම නව නිශ්චල දේපළ සංවර්ධන හස්තය පිහිටුවීමේ අරමුණ වී තිබේ.

අද වනවිට එම සමූහයට අයත් විවිධ පරිපාලිත සමාගම් හරහා මෙම සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරන බවත් එම සමාගම් දෙකම සඳහන් කරයි. එහිදී ඍජුවම හෝ පරිපාලිත සමාගම් යටතේ එම සමාගම් මෙම ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දෙමින් සිටියි.

ඒ යටතේ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම දැනටමත් සිය සමූහයේ ෆුඩ්සිටි සුපිරි වෙළෙඳ සැල්, KFC ක්ෂණික ආහාර සේවා ආපනශාලා සහ රීගල් සිනමා ශාලා එක්කරමින් ‘මිනි මෝල්ස් (Mini Malls)‘ ලෙස කුඩා සාප්පු සංකීර්ණ සංවර්ධනය කිරීම්හි නිරතවෙමින් සිටින බවත් පවසයි.

අද වනවිට යාපනය, ගම්පහ සහ දෙමටගොඩ යන නගර තුළ මෙවැනි Mini Malls ක්‍රියාත්මකව පවතින බවත්, තවත් ස්ථාන දෙකකදී දැනටමත් එවැනි Mini Malls ඉදිකරමින් පවතින බවත් සමාගම් සඳහන් කරයි.

මේ අතර CT Holdings PLC සමාගමත් තමන්ට අයත් සිනෙමාශාලා දේපළ දෙකක් මෙවැනි Mini Malls බවට සංවර්ධනය කරමින් පවතින බවත්, ඉහත සඳහන් කළ ක්‍රමවේදය එහිද ක්‍රියාත්මක වන බවත් පවසයි.

අද වනවිට CT Land Develpoment PLC ලෙස තවත් ලැයිස්තුගත සමාගමක්ද CT Holdings සමූහයට අයත්ය. බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ හිමිකාරීත්වය සහ කළමනාකාරිත්වය එම සමාගම විසින් දරයි. යාපනයේ සහ ගම්පහ පිහිටි Cargills Square Malls හි හිමිකාරීත්වයත් එම සමාගමට අයත්ය.

එසේම CT Properties Limited ලෙසද සමාගමක් පවතී. කොළඹ 02 ඉදි කෙරුණු Empire සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය සහ පිලියන්දල ඉදි කෙරුණු CT Gardens නගර ව්‍යාපෘතියට එම සමාගම මගින් සිදු කර තිබේ.

අද වනවිට සමූහය සිල්ලර, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), ආපනශාලා, නිශ්චල දේපළ සහ විනෝදාස්වාදන ලෙස අංශ පහක් යටතේ විවිධාංගීකරණය වී තිබේ. ඒ අතරින් 2020 වසරේදී සමූහයේ ආදායම් ඉපැයිම් වෙත නිශ්චල දේපළ අංශය ලබා දී ඇති දායකත්වය 0.43%කි. එය 2019 වසරේදී ලබා දුන් 0.56%ක දායකත්වය හා සැසඳීමේදී පහත වැටීමකි.

Views: 285