LCB Finance මූලික මහජන කොටස් නිකුතුව අද (26දා) විවෘත කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වන අලුත්ම සාමාජිකයා ලෙස ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම (LCB Finance) අද සිය මූලික මහජන කොටස් නිකුතුව ආයෝජකයන් සඳහා විවෘත කෙරිණි.

මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 125ක් (125‍,000,000ක්) නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මූලික අදියර ලෙස සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 75ක් (75,000,000ක්) කොටසක් රුපියල් 4.00ක් බැගින් නිකුත් කිරීම සිදු කරයි.

එසේම ඒ සඳහා හිමි වන අධි දායකත්වයත් සමගින්ම තවත්  සාමානය ඡන්ද හිමි කොටස් මිලියන 50ක්ද (50,000,000ක්) නිකුත් කරන බව සමාගම පවසා තිබේ. එයද කොටසක් රුපියල් 4.00ක් බැගින් මිල කෙරී තිබේ.

ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා නිකුත් කරන සම්පූර්ණ කොටස් ප්‍රමාණය කොටස් මිලියන 125කි. එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 500ක් ලෙස ගණන් බලා ඇත.

LCB Finance සමාගමට සිය මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපුරා ගැනීම වෙනුවෙන් මෙම මූලික මහජන නිකුතුව සිදු කරන බව එම සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි මූල්‍යමය උපදේශකවරයා සහ කළමනාකරුවන් ලෙස NDB Investment Bank Limited නම් කර තිබේ.

Views: 201