ගුවන් මගීන්ට තත්පර 20 කදී සිය ලියාපදිංචිය සිදු කළ හැකි ඔන්ලයින් සෞඛ්‍ය ප්‍රකාශන ක්‍රමවේදයක්

කටුනායක ගුවන් තොටුපොළේ මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වාදී ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා අතින් අද (26දා) මෙම පද්ධතිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී නිල වශයෙන් විවෘත කර ඇත.

විශේෂයෙන්ම ගුවන් මගී හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිතව නව මාර්ග ගත COVID-19 සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මෙම ක්‍රියාවලිය හඳුන්වාදීම තුළින් භෞතික ආකෘති පිරවීමේ භාවිතය හා මානව සම්බන්ධතා අවම වන බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම මෙම මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු ඉදිරිපත්වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ටද මගීන්ගේ තොරතුරු කල්තියා ලබා ගැනීමට හැකිවන බැවින්, බෝලිම් කාලය අඩු කරමින් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා සමාලෝචනය කිරීමට එය උපකාරි වන බවත් අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා ගුව්න තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ වෙබ් අඩවියේ (www.airport.lk) https://www.airport.lk/health_declaration/index ඔස්සේ ගොස් මෙම පද්ධතිය වෙත පිවිසිය හැකි බවද රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

  • මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය – පැමිණෙන මගීන් සඳහා
    01. වෙබ් අඩවි‌යේ  ඇති  සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතුය. ඊට අදාළ මෙම ලියකියවිලි ද  අමුණා තිබිය යුතුය – 1 වන මාත්‍රාව සහ 2 වන මාත්‍රාවේ එන්නත් කාඩ්පත. පිටත්වීමට පෙර පැය 72ක් ඇතුළත සිදු කරන ලද COVID-19 පරීක්ෂණ වාර්තාව.
  •  02. එම විස්තර ඉදිරිපත් කළ පසු, මගියාට QR කේතය නැරඹීමේ පහසුකම ඇති අතර, ඊට අමතරව, QR කේතයක් සහිත විද්‍යුත් තැපෑලක් මගියාට ලැබෙනු ඇත.
  • 03. මගීන් ගුවන් තොටුපළට පැමිණීමට පෙර ගුවන් තොටුපළේ සෞඛ්‍ය නිලධාරීන්ට මගීන්ගේ තොරතුරු ලැබෙනු ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් මගීන් විසින් සපයනු ලබන තොරතුරු සමාලෝචනය කරනු ඇත. 04. එසේ පැමිණෙන මගීන් (ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රකාශන පෝරම අන්තර්ජාලය හරහා පුරවා ඇති අය), සෞඛ්‍ය ප්‍රකාශන කවුළුවෙහි QR කේතය ස්කෑන් කළ යුතුය.

යම් අයෙකුට විදේශයන්හි දී ලියාපදිංචි වීමට නොහැකි QR වුවහොත් ඊට අදාළ කේතය ඇතුලත් පුවරු ගුවන්තොටුපල පරිශ්‍රයේ සවිකර ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ  හි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සමඟින්, ගුවන් මගීන් සඳහා පහසු නව සංචාරක අත්දැකීමක් ලබා දීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම අවස්ථාව සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියාරච්චි යන මහත්වරුන්ද සම්බන්ධව සිට ඇත.

Visits: 69