Q+ Payment App ගනුදෙනුකරුවන් ගණන ලක්ෂය ඉක්මවයි

LANKAQR යටතේ ආරම්භ කරන ලද, QR මත පදනම් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ගෙවීම් ඇප් එක වන Q+ Payment App, මාස පහක් තුළදී සිය ග‍්‍රාහකයින් සංඛ්‍යාව දෙගුණ කරගනිමින් ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 100,000 සීමාව පසු කර ගිය බව එම යෙදුමේ හිමිකාරිත්වය දරණ කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

රට තුළ වේගයෙන් වර්ධනය වන QR යෙදුම වන Q+ Payment App භාවිත කිරීමේදී ස්වයං ලියාපදිංචිය පහසු වන අතර ජංගම දුරකථන හරහා QR කේත ස්කෑන් කිරීමෙන් සහ යෙදුම් තුළම ඇති බිල්පත් ගෙවීමේ පහසුකම මගින් ලබා දෙන ආරක්ෂාව සහ පහසුව හේතුවෙන් පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙන බව බැංකුව පවසයි.

කාඞ්පත් හිමියන් සහ වෙළෙන්දන් සඳහා පහසුවෙන් ගෙවීමේ විකල්පයක් ලෙස නිර්මාණය කර ඇති මෙම යෙදුම, ජනප‍්‍රිය දේශීය වෙළෙඳ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් බැංකුව විසින් මෙහෙයවනු ලැබූ ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් තුළින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීම යටතේ ක‍්‍රියාත්මක වූ ‘රට පුරා LANKAQR’ වැඩසටහන් ගණනාවකට සහභාගී වීම හරහා ජනප‍්‍රියත්වයට පත් විය.

ඇප් මඟින් ලබා දෙන ආරක්ෂාව හා අන්තර් ක‍්‍රියාකාරී පාරිභෝගික අත්දැකීම් සහ පහසුව එහි ජනප‍්‍රියත්වයේ පසු පස ඇති ප‍්‍රධාන බලවේගය බව බැංකුව පවසයි. Q+ ගෙවීම් යෙදුමට කාඞ්පත් සම්බන්ධ කිරීමෙන්, මුදල් පසුම්බිවලින් කාඞ්පත පිටතට ගැනීමෙන් වැළකීම නිසා කාඞ්පත නැතිවීම සහ සොරකම් කිරීම වැළකේ. මෙය පරිසර හිතකාමී, කඩදාසි රහිත බැංකු විශේෂාංග වන ඩිජිටල් රිසිට්පත් සහ ඇප් එක තුළ නොටිෆිකේෂන් භාවිතය දිරිමත් කරයි.

පාරිභෝගිකයන්ට ඔවුන්ගේ කොම්බෑන්ක් වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ කාඞ්පත් Q+ ගෙවීමේ යෙදුමට එකතු කළ හැකි අතර එමගින් ඔවුන්ට LANKAQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සිදු කිරීමට හැකි වේ. යෙදුමට උපරිම වශයෙන් කාඞ්පත් පහක් සම්බන්ධ කළ හැකිය.

Views: 73