නිරුජා තම්බියාහ් රේනුකා හෝටල් සතු වූ RCL හි රු. මිලියන 14.5ක කොටස් විකුණයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන නිරුජා තම්බියාහ් තමන් සතුව තිබූ කොටස් ලක්ෂ තුනක් අලෙවි කර ඇතැයි එම සමාගම පවසයි.
පසුගිය ඔක්තෝබර් 15 වැනිදා කොටස් ලක්ෂය බැගින් අවස්ථා තුනකදී මෙම අලෙවි කිරීම සිදු කර තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 48.50ක් බැගින් මිල කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 14.5ක් (14,550,000ක්) ලෙස සටහන්ව තිබේ.
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා සිටි හොටේල්ස් පීඑල්සී සමාගමෙහිද විධායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන නිරුජා තම්බියාහ් මහත්මිය විසින් මෙහිදී අලෙවි කර ඇත්තේ එම සමාගම සහ ඊට අයත් සමාගම් සතුව රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ පැවැති කොටස් බව පැවසෙයි.
ඒ අනුව රේනුකා හොටෙල්ස් පීඑල්සී සමාගම සතුව තිබූ කොටස් ලක්ෂයක්, රේනුකා සිටි හොටේල්ස් පීඑල්සී සතුව තිබූ තවත් කොටස් ලක්ෂයක් සහ රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ් සමාගම සතුව තිබූ තවත් කොටස් ලක්ෂයක් ලෙස මෙම අලෙවිය සිදු කර තිබේ.

Hits: 1085