ඇමති විමල් ‘අබාන්ස්’ සමාගම දේශීයව ශීතකරණ සහ වායුසමීකරණ නිපදවීමට යන කර්මාන්තශාලාවට යයි

ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර දේශීයව නිපදවීමේ අරමුණින් අබාන්ස් සමාගම මගින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය උපායමාර්ගික ආයෝජනයක් ලෙස සලකා ඊට අදාළ පහසුකම් සැපයීමට කැබිනට් පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

කළුතර මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අබාන්ස් සමාගමේ මෙම ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර නිපදවීමේ නව කර්මාන්ත ශාලා පරිශ්‍රය ඊයේ (21දා) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා මේ බව පවසා තිබේ.

“අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා, උපායමාර්ගික ආයෝජනයක් ලෙස මෙම ව්‍යාපෘතිය ප්‍රතිපත්තිමය වශයෙන් පිළි අරගෙන එයට උපායමාර්ගික ආයෝජනවලට ලැබෙන බදු සහන සහ අනෙකුත් වරප්‍රසාද ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා හැටියට අපි බලාපොරොත්තු වෙනවා.”

එම යෝජනාව හරහා මෙලෙස දේශීයව භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් බලගැන්වීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

අක්කර පහක මෙම භූමියක් තුළ වර්ග අඩි ලක්ෂයක විශාල කර්මාන්ත ශාලාවක් ලෙස අබාන්ස් සමාගමේ මෙම ශීතකරණ සහ වායුසමීකරණ කර්මාන්තශාලාව ඉදි කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.

“මෙම සමාගම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මුල් කාර්තුව ඇතුළත, ඒ කියන්නේ අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ශීතකරණයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට. ඉන්පසුව දෙවන අදියර ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වායුසමීකරණ යන්ත්‍ර දේශීයව නිපදවීම සඳහා කටයුතු කිරීමටත් ඔවුන් සූදානම් වෙනවා. මේක මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක්. දේශීය වශයෙන් අපට උවමනා දේ නිපදවා ගැනීමේ සංස්කෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමක්. එම ප්‍රවණතාවට තව බලගැන්වීමක්.” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

Views: 461