හෙළකුරු සහ PayHere එක්ව හෙළPay බිහිවෙයි

මෙරට ප්‍රමුඛතම දේශීය ඩිජිටල් තාක්ෂණික නිමැවුම් සමාගමක් වන Bhasha Lanka (පෞද්) සමාගමේ සන්නාමයන් දෙකක් වන හෙළකුරු සහ PayHere එක්ව හෙළPay නමින් නවතම අන්තර්ජාල ගෙවීමේ වේදිකාවක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

Bhasha Lanka (පෞද්) සමාගමේ 10 වැනි සංවත්සරයට සමගාමීව මෙම නවතම සේවාව දියත් කර තිබේ. මෙම සන්නාම දෙක අතරින් හෙළකුරු එම සමාගමේ ඩිජිටල් දෛනික සේවා වැඩසටහන වන අතර PayHere ඩිජිටල් මූල්‍ය සේවා වැඩසටහන ලෙස ක්‍රියාත්මක වන්නකි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පූර්ණ අනුමැතිය යටතේ මෙම නව ගෙවීම් වේදිකාව පිහිටුවා තිබේ. සරලවම සුරක්ෂිතයි යන පාඨය යටතේ මෙම සේවාව ගෙන ඒමට Bhasha Lanka (පෞද්) සමාගම කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව තුළ සරලවම අන්තර්ජාල ගෙවීමක් සිදු කිරීමේ ඇති අපහසුවට පිළියමක් ලෙස මෙම නවතම හෙළPay හඳුන්වාදීම සිදු කළ බව හෙළකුරු/ PayHere හි නිර්මාතෘ ධනික පෙරේරා මහතා සඳහන් කරයි.

“දැනට වසර 10කට පෙර අපි Bhasha Lanka සමාගම පිහිටුවේ ලංකාවේ ජනතාව තාක්ෂණය යොදා ගනිමින් තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමේ අවස්ථාව සලසාදීමටයි. තාක්ෂණයත් එක්ක භාෂාව බාධාවක් නොකරගන්න අපි හඳුන්වාදීපු හෙළකුරු අද වෙන කොට ලංකාවේ මිලියන 10කට වැඩි පිරිසක් භාවිතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාරික ආයතන වෙත සහ පාරිභෝගිකයන් වෙත ඩිජිටල් ගෙවීම් වේදිකාවක් ලබා ගැනීම සඳහා විසඳුමක් විදියට අපි 2016 දී PayHere හඳුන්වාදුන්නා. අද ව්‍යාපාරික ආයතන 3,000කට වඩා වැඩිප්‍රමාණයක් ඊට සම්බන්ධයි. රුපියල් බිලියන ගණනක ගෙවීම් ඒ හරහා සිදු වෙනවා.”

වැඩිදුරටත් අදහස් දක්වන ධනික පෙරේරා මහතා, “මේ ගැටලුවලට විසඳුම් ලබා දුන්නායින් පස්සේ අපි හඳුනාගත්ත තවත් ගැටලුවකට විසඳුමක් තමයි මේ සේවාවන් දෙක ඒකාබද්ධ කරලා ඉදිරිපත් වෙන මේ හෙළPay කියන්නේ. විශේෂයෙන්ම ගෙවීම් වේදිකාවක් තුළ වඩාත් සරලව ක්‍රියාකිරීමේ හැකියාවක් ලබා දීම තමයි මෙතැනදී වෙන්නේ. එතැනදී ජනතාවට වඩාත් සමීප හෙළකුරු හරහා එය ජනතාවට ලබා දීම මෙතැන මූලික අරමුණක්.”

එහිදී උදාහරණ ලෙස හෙළකුරු රීලෝඩ් සහ හෙළකුරු බිල්පත් ගෙවීමේ සේවාවන් අද වනවිට ජනතාව අතර වඩාත් වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් ඒ මහතා පවසයි. ඒ හරහා අද වනවිට රුපියල් මිලියන ගණනක රීලෝඩ් සහ බිල් ගෙවීම් සිදුවන බවත් සඳහන් වෙයි.

“මේ හෙළකුරු රීලෝඩ් සහ හෙළකුරු බිල් ගෙවීම් සේවාවන් සහ PayHere සමගින් කටයුතු කරද්දී අපි හඳඳුනාගත්ත දෙයක් තමයි වඩාත් සරලවම ගෙවීම් සිදු කරන්න හැකියාවක් නොමැති කම. චීනය වගේ රටවල හදාගත්ත Alipay, We chat Pay වැනි සරල ක්‍රමවේද හරහා ජනතාවට මේ ගෙවීම් සරල කරලා තිබෙනවා. බටහිර රටවල ගූගල්Pay, ApplePay වැනි සරල ක්‍රමවේද භාවිතා කෙරෙනවා. ඒත් ලංකාවේ අපට තවමත් සරල ගෙවීම් ක්‍රමයක් නැහැ. එම ගැටලුවට විසඳුම තමයි හෙළPay” ධනික පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.

Visits: 187