ජර්මනියේ Anuga 2021 වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකා තේ සඳහා ඉහළ ආකර්ෂණයක්

ජර්මනියේ මෙසෙ කර්න් හිදී 2021 ඔක්තෝබර් 9 වැනි දින සිට 13 වැනි දින තෙක් පැවැත්වූ ආහාර හා පාන කර්මාන්තය පිළිබඳ ලොව විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන අනුගා 2021 වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද සහභාගී වූ බව බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

‘එකම වහලක් යට’ (‘One Roof’) නමැති සංකල්පය යටතේ සැලසුම් කෙරුණු මෙම වෙළඳ ප්‍රදර්ශනය තුළින් කර්මාන්ත දිශානතිය, සැපයුම හා ඉල්ලුම සම්බන්ධ කිරීම සහ ආහාර පාන අංශවල විවිධ රසවත් අත්දැකීම් පිරිනැමීම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම සිදුව තිබේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය මෙරට වෙළෙඳ ප්‍රවර්ධන උපායමාර්ගයේ සුවිශේෂී අංගයක් වන බැවින්, ශ්‍රී ලංකාවේ සමාගම් 8 ක් නවතම සහ අද්විතීය නිෂ්පාදන මාලාවක් විදහා දක්වමින් “අනුගා ඩ්‍රින්ක්ස්” ප්‍රදර්ශනය යටතේ සුපුරුදු උසස් තත්ත්වයේ ලංකා තේ නිෂ්පාදන ඉදිරිපත් කළ අතර, එමඟින් සිය ප්‍රදර්ශන කුටි සඳහා විශාල ජනකායක් සහ ව්‍යාපාරික පිරිසක් ආකර්ෂණය කර ගෙන තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වෙළඳ ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධීකරණය කර ඇත.

ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේ දී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය සහ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මධුරිකා වෙනිංගර් මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ සමාගම් නියෝජිතයන් සමඟ පැවති හමුවලදී තානාපතිවරිය ජර්මනියේ සහ යුරෝපයේ වර්තමාන වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කළ අතර, කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ පවත්නා සමීප සහයෝගීතාවයෙන් ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා දූත මණ්ඩලය ගෙන ඇති පියවර පිළිබඳව ද විස්තර කළ බවත් තානාපති කාර්යාලය පවසයි.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියෙන් අනතුරුව නරඹන්නන් සඳහා දොරටු විවෘත කළ ප්‍රථම වෙළෙඳ ප්‍රදර්ශන අතරින් එකක් වූ මෙම ප්‍රදර්ශනය, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලොව පුරා ප්‍රදර්ශකයන් 8,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනිමට සමත්ව තිබේ.

Views: 112