බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 85ක සීමාවට ළගා වෙයි

ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මෙරට වේලාවෙන් අද පෙරවරු 8.30 වන විට එක්සත් ජනපද ඩොලර් 84.60ක් දක්වා ඉහළ නැග තිබුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වනවිට එක්සත් ජනපද ඩොලර් 81.78ක් බවට පත්ව තිබුණි.  

අද වනවිට ලොව පුරා පවතින බොරතෙල් ඉල්ලුමට අනුව සැපයුම ඉදිරිපත් කිරීම සඳහා ලොව ප්‍රධානතම බොරතෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබිය ඉදිරිපත් නොවීම ඊට හේතුව බව සඳඳහන් වෙයි.

මෙම සතිය ආරම්භයේදීම එනම් ඔක්තෝබර් 11 වැනිදා ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 84.34ක අගයකට පත්විය. එහෙත් ඔක්තෝබර් 13 වැනිදා යළිත් එය ඩොලර් 82ක මට්ටමට පහත වැටුණි. කෙසේ වෙතත් ආසන්න දින දෙකේදී කැපී පෙනෙන අන්දමින් බොරතෙල් මිල ඉහළ යමින් අද වනවිට එය ඩොලර් 84.60ක් මට්ටමට පත්ව තිබේ.

ඒ අනුව මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඔක්තෝබර් 01 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළදී 6.2%කින් ඉහළ යාමක් සටහන්ව තිබේ. ඔක්තෝබර් 01 වැනිදා එය ඩොලර් 79.28ක් ලෙස පැවතුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඔක්තෝබර් 01 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ 7.2%ක වර්ධනයක් පෙන්වා තිබේ. ඔක්තෝබර් පළමුවැනිදා එම බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 75.88ක් විය.

මේ සමගම යළිත් වරක් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඩොලර් 85ක සීමාවට ළඟා වෙනු ඇතැයි අදහස් පළ වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය සතියේදී චීනයේ ගල් අඟුරු නිෂ්පාදන ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම නිෂ්පාදන අඩපණවීම් සිදුවීමත් සමගින්ම බොරතෙල් සඳහා වන ඉල්ලුම ඉහළ යාම මෙලෙස මිල ඉහළ යාමට හේතුවිය.

එසේම යුරෝපය තුළ ඉදිරියේදී ඇතිවියහැකි ශීත දේශගුණික තත්ත්වය පිළිබඳ පුරෝකතනයත් බ්‍රිතාන්‍ය ඇතුළු එම කලාපයේ රටවල ස්වාභාවික වායු සඳහා වන ඉල්ලුම ඉහළ දැමීමට හේතුවී තිබේ. ඒ අනුව මෙම කාරණා දෙක හේතුවෙන්ම පසුගිය දින කිහිපයේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සිදු විය.

මේ අතරම ඔපෙක්+ සාමාජික රාජ්‍යයන්ද සිය මාසික බොරතෙල් නිෂ්පාදනයේ ඉහළ දැමීම යම් මට්ටමක වේගයකින් පවත්වාගෙන යාමටත් තීරණය කර තිබීමත් මේ තත්ත්වයට බලපා තිබේ. ඒ අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල වසර හතකට පසුව ඉහළම අගයටත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 2018 වසරේදී පැවැති ඩොලර් 86.74ක අගයකට පත්වීමේ හැකියාවක් පවතින බවත් සඳහන්ව තිබේ.

Visits: 227