වසර දෙකකදී විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ඩො.මි. 24ක් ලෙස දෙගුණයක් කිරීමේ ඉලක්කයක්

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශක කාරක සභාව 2021 ඔක්තෝම්බර් 12 දින වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව රැස්වීම සිදුවී තිබේ.

මෙහිදී විසිතුරු මත්ස්‍ය අපනයන උපදේශක කමිටුවේ සභාපති සහ සම-සභාපති ලෙස සත්‍යේන්ද්‍ර විජයපුර සහ මේනක දිසානායක මහත්වරුන් ඒකමතිකව තේරී පත් වූහ.

අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම පවත්වාගෙන යන අතරම, කර්මාන්ත නංවාලීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳව උපදේශකයින්, ‍ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාතික ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා අපනයන උපදේශක කමිටුව ප්‍රධාන වේදිකාවක් සපයයි.

වැඩ භාරගැනීමෙන් පසු විජයපුර මහතා සඳහන් කළේ, විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය සිය අපනයන ආදායම ඩොලර් මිලියන 12සිට ඩොලර් මිලියන 24 දක්වා ඉදිරි වසර දෙකතුල වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතු බවත්, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශක්තිමත් හා බලවත් උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍ය බවත්ය.

මේ මොහොතේ කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන බාධාවන් ලෙස ගුවන් ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ අධික භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඔහු අවධාරණය කර තිබේ.

සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ අපනයන‍ භාණ්ඩ පැස දැනට වෙළඳ භාණ්ඩ ස්වල්පයක් මත රඳාපවතින හෙයින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා විසිතුරු මසුන් අපනයනය වැනි සාම්ප්‍රදායික නොවන අපනයන අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර තිබේ.

‘විසිතුරු මත්ස්‍ය අපනයන ක්ෂේත්‍ර‍ය නංවාලීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක කමිටුවේ සාමාජිකයින්ගේ අදහස්වලට සවන් දීමට සහ ක්‍රියාත්මක කළ හැකි යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට’අමාත්‍යවරයා සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කරන ලද අතර කර්මාන්තයේ දියුණුව සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ සහ අපනයන කෘෂි අංශයේ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වී තිබේ.

Visits: 250