දෙසැම්බරයේදී ජනතාව සඳහා විවෘත වීමට සැරසෙන ‘දකුණු ආසියාවේ ජගත් මුවදොර – කොළඹ වරාය නගරය’

පෞද්ගලිකව මෙන් මරටක් වශයෙන් ගත් කල  ආර්ථික සමෘද්ධිය යනු යහපත් ජීවන තත්ත්වයක ප්‍රධාන අංගය වන අතර ලෝක ආර්ථිකය තුළ ජාතියක් වශයෙන් තරඟකාරී වීම සඳහා ද එය අත්‍යවශ්‍යවේ. ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීමකෙරෙහි මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබේ.

මෙය සිදු කිරිමේ ප්‍රධානතම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අලුතින්ම එක්වූ ‘දකුණු ආසියාවේ ජගත් මුවදොර’ යන විරුදාවලිය ලත් කොළඹ වරාය නගර භූමිය ලෙස හැඳින්විය හැකිය. මෙම ව්‍යාපෘතිය සේවා ඉලක්ක කරගත් මෙරට ප්‍රථම විශේෂ ආර්ථික කලාපය ලෙස ද හදුන්වනු ලැබේ.

පසුගිය සැප්තැම්බර් 17 වන දිනට මෙම සුවිසල් ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී වසර 7ක් සැපිරිණි.

අනාගතයේදී දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වනු ඇතැයි සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අලුත් නගරයක් මෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කිරිමේ අඩිතාලම දැනටමත් නිර්මාණය කොට අවසන්ය. එමෙන් ම භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබීමමෙම ව්‍යාපෘතිය කෙරෙහි දෙස් විදෙස් ආයෝජකයින්ගේආකර්ෂණය වැඩිකරගත හැකිය. වරාය නගරය ව්‍යාපෘතිය තුළින් පශ්චාත් වසංගත ආර්ථික පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාවට වැඩි දායකත්වයක් ලැබෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙන්, විවිධ දේශපාලනික හැල හැප්පීම්වලට ලක් වන වෙනත් ව්‍යාපෘතියක් මෙරට නොමැති තරම්ය. චීනය සමග කෙරෙන මෙම ව්‍යාපෘතියට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වන බව නොරහසකි.ඇතැම් විට මෙම ව්‍යාපෘතිය වෙනත් ලෝක බලවේගයක් සමග සිදු වුවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වනු ඇති අතර,එසේ වූවානම් සම්ප්‍රදායානුකූලව විරුද්ධවාදීන් සිටිය ද තත්ත්වය මේ තරමටම දැඩි නොවන්නට ඉඩ තිබුණි.

ලොව දෙවැනි ප්‍රබලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මෙවැනි කටයුත්තක් සඳහා ඉදිරිපත් වන මොහොතක, මෙවැනි අවස්ථාවන් උපරිම ප්‍රයෝජනයට ගත යුතුබව අවධාරණය කළ යුතු ය.අනෙක් කරුණ නම්, මෙය හැසිරවීමේදී කුමන ආණ්ඩුව ආවත් රටේ යහපත ගැන සිතිය යුතුය.

කෙසේවෙතත්, කුහක දේශපාලනය පසෙකලා සැබැවින්ම රටේ ආර්ථික යහපත පිළිබඳව සිතමින් මේ පිළිබඳව සොයා බැලුවහොත් මෙවන් ව්‍යාපෘතියක වටිනාකම හොඳින් හඳුනාගත හැකිබවමාගේ මතයයි. කොළඹ වරාය නගරයට වසර 7ක් සපිරෙන මේ අවස්ථාවේදී,එම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සඳහන් කිරීම උචිත ය.

මෙය වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි.මෙම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල චීන ආයෝජනයක් මිස ණය මුදලක් නොවේ.නමුත් ඇතැම්මු එය ද වැරැදි ලෙස අර්ථකථනය කරති.

මුහුද ගොඩ කිරීමෙන් නිර්මාණය කරන ලද හෙක්ටයාර 269ක මෙම නව භූමී ප‍්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මෙම හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු විවෘත ප්‍රදේශ ලෙස වෙන් වේ. මේ වන විට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම රුපියල් බිලියන 1.1 කමුදලක් ආයෝජනය කරඑහි භූමිය සකස් කර අවසන්ය.ආයෝජකයන්ට ලබා දිය හැකි වාණිජ බිම් කොටස් 74ක් සඳහා යටිතල පහසුකම් සැකසීමද බොහෝදුරට අවසන් කොට තිබේ. අදියර වශයෙන් එය ආයෝජකයන්ට ලබා දීමට නියමිතය.

ආයෝජන ගෙන්වා ගැනීම පහසු කිරිමට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූවේ පසුගිය මැයි මාසයේදීය. එය ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ වරාය නගරය මෙරටට අත්‍යවශ්‍ය වී පවතින සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා, සේවා අපනයනයන් ප්‍රවර්ධනය කරන කේන්ද්‍රයක් බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිම මෙන්ම, ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ පහසුවද නිර්මාණය කර තිබේ.

මේ වන විටත් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කරමින් සිටින බව, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම සඳහන් කර තිබේ.කොමිසම අභ්‍යන්තරව දේශපාලනික වශයෙනුත්, බාහිර වශයෙන් භූ දේශපාලනිකවත් ස්වාධීනවෙමින්  ජනාධිපතිතුමා යටතේ  ජාතික ප්‍රතිලාභයන් වෙනුවෙන් ක්‍රියාත්මකවීම සිදුවන බව මෙම කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මහතා පවසයි. වරාය නගරය තුළ  සිදුවන සෑම ක්‍රියාවලියක් සහ ගන්නා සෑම තීන්දු තීරණයක්ම  ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන නිසා රටේ ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොවන බවද අවධාරණය කළ යුතුය.

ආයෝජන තොරතුරු පිළිබඳව සඳහන් කළහොත්, දේශීය වශයෙන්  ව්‍යාපෘතිය සඳහා මෙරට සමාගම් 25ක් පමණ මුල් අදියරේදී ආයෝජනය කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව ව්‍යාපෘති සමාගම පවසයි.  ඉන් සමාගම් දහයක් පමණ සෘජු ආයෝජන ද අනෙකුත් සමාගම් 15 මිශ්‍ර ආයෝජනලෙසද, සිදු කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.

මෙහි මුල්ම ව්‍යාපෘතිය ලෙස කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදි වීමට නියමිතය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට වසර 7ක් ගත වන මේ මොහොතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණද, පවතින වාතාවරණය නිසා එය කල් දැමීමට සිදුව තිබේ.මෙහි ඉදිකිරීම් ඉතා නුදුරේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පි.එල්සී. සමාගම (Browns Investments PLC) සහ චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම (China Harbour Engineering) සමාගමයි.

මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඩොලර් බිලියනයක ආයෝජනයකි. මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 450 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත ය.මෙහිදී කුළුනු හතරක් ඉදිකෙරෙන අතර, ඒ සඳහා නිවාස කුළුණු දෙකක්, කාර්යාලිය කුළුණක් සහ සේවා සපයන නිවාස කුළුණක්  ඇතුළත්ය.එහි පහළ සාප්පු සංකීර්ණයක්ද ඉදි වනු ඇත.

මීට අමතරව ලබන වසරේ මුල් කාර්තුවේ දී තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ද ඉදිවීමට නියමිත ව තිබේ.සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරය දියුණු කරද්දී මෙය ඉතා වැදගත් අංගයක් වන බවආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

එසේම ලබන දෙසැම්බර් මාසය වනවිට මෙම වරාය නගරය මහජනතාව වෙත විවෘත කිරිමටද බලාපොරොත්තුවන බව ව්‍යාපෘති සමාගමෙන් කළ විමසීමේ දී දැන ගන්නට ලැබිණි. ඒ අනුව ගාලු මුවදොර වෙතට යන සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව විවෘත වේ. තවද විනෝදාස්වාදය සඳහා විවිධ අංග ඇතුළත් කොටස් කිහිපයක් ද ඉදිරියෙදී විවෘත වීමට නියමිතය.

වසර 2041 දී පමණ අංගසම්පූර්ණ වීමට නියමිත, ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස කොළඹ වරාය නගරය රටට සෘජු විදේශ ආයෝජන රැගෙන එමින් දකුණු ආසියාවේ මුල්‍ය සහ සේවා කේන්ද්‍රස්ථානය බවටපත්වන බව නොඅනුමානය.

සටහන – හර්ෂ පිටියෙගෙදර

Hits: 383