එයාර්බෑග් දෝෂය සැකසීමට අලුත්ම TOYOTA COROLLA සහ YARIS රථ යළි කැඳවයි

සිය සමාගම හරහා ආනයනය කරන ලද නවතම TOYOTA COROLLA (141/140) සහ YARIS (NCP92) රථවල ඉදිරිපස මගී ආසනය පැත්තේ ඇති එයාර් බෑග් උපාංගයෙහි දෝෂ පවතින බවට හඳුනාගෙන ඇතැයි ටොයොටා ලංකා පෞද්ගලික සමාගම පවසයි.

අද දිනයේදී පළ වුණු පුවත්පත් හරහා දැන්වීමක් පළ කරමින් එම සමාගම මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව එම සමාගම හරහා ආනයනය කරන ලද මෙම TOYOTA COROLLA සහ YARIS රථවල ඇති මෙම දෝෂ සහිත එයාර්බෑග් උපාංගයේ ඉන්ෆ්ලේටරය ඉවත් කොට අලුත් ඉන්ෆ්ලේටරයක් ඊට යෙදවීමට කටයුතු කරන බව එම සමාගම පවසා සිටියි.

මෙය කිසිදු ගාස්තුවකින් තොරව සිදු කරන ලබන බවත්, දැනටමත් මගී ආසනයේ ඇති එයාර් බෑග් මාරු කිරීමක් සිදු කර ඇති රථවාහන සඳහා වලංගු නොවන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී දුරකතන අංක 0112 939000 අමතා මෙම එයාර් බෑග් දෝෂය අලුත්වැඩියාව සඳහා වේලාවක් වෙන් කරගන්නා ලෙසත්, එහිදී වාහනයේ චැසි අංකය ඉදිරිපත් කරන ලෙසත් ටොයොටා ලංකා (පෞද්) සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම මෙම මෝටර් රථ ධාවනය කරන්න්නන්ගේ සහ එහි යන මගීන්ගේ ආරක්ෂාව සිය ප්‍රමුඛතාව ලෙස සලකා අදාළ එයාර් බෑග් සතු මෙම ඉන්ෆ්ලේටර් උපාංගය අලුත්වැඩියාව සිදු කරන බවද එම සමාගම සඳහන් කර සිටියි.

ඒ අනුව අවදානමක් නොගෙන මෙම දෝෂය නිවැරදි කරගන්නා ලෙසද සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Visits: 125