“රාජ්‍ය – පෞද්ගලික අංශ හවුල්කාරීත්වයෙන් රට සංවර්ධනය කරනවා” – ජනපති EU නියෝජිතයන්ට කියයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක් ව කටයුතු කිරීමටත්, පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කර ගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

එසේම මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබා ගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා විසින් මෙහිදී එම නියෝජිත පිරිසට පැහැදිලි කර දී තිබේ.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම දූත කණ්ඩායමේ මෙම සංචාරයේ අපේක්ෂාව වී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමඟින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. එසේ තිබියදීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබා දීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේ ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා පැහැදිලි කළේය. විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නො වූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් ම ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවද පවසා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කර ගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබී ය. සංචාරයේ දී අධ්‍යනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කර ඇත.

විශේෂයෙන්ම රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නො වන අතර කුඩා සිදුවීමක් පාදක කර ගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇති කිරීම කණගාටුදායක බව ජනාධිපතිතුමා පවසා තිබේ.

මේ අතර රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළ බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම හමුව සඳහා යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල් නිකොලොස් සයිමිස් (Nikolaos Zaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානි, අඕනිස් ජියෝග්කරාකිස් ආර්ජිරොපොව්ලොස් (Ionnnis Giogkarakis Argyropoulos), කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස් චායිබි (Denis Chaibi), ජීඑස්පී වෙළෙඳ සහනය පිළිබඳ සම්බන්ධීකාරක ගයිඩෝ ඩොලාරා (Guido Dolara), රැකියා, සමාජ කටයුතු – කම්කරු, සංචලන – ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ඒකක ප්‍රධානි, අධ්‍යක්ෂ ජෙනරාල් ලුයී ප්‍රැට්ස් (Lluis Prats), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රතිපත්ති නිලධාරි, මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්මමහත්මීහු මෙම සාකච්ඡාවට එක් ව සිට ඇත.

Views: 61