සෙරෙන්ඩිබ් ලෑන්ඩ් වෙතින් කොටසකට රු. 25.00 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දේපළ වෙළෙඳ සමාගමක් වන සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගම (SLND.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 25.00ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවීම සැලසුම වී තිබේ.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 නොවැම්බර් 10 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 01 වැනිදා නම් කෙරී තිබේ.

සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමට අනුව මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ.

ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වෙන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.

අද වන විට කොළඹ කොටස් හුවමාරුවෙහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම ඊයේ රුපියල් 2,211 ක් ලෙස සටහන්ව තිබුණි.

2021 මාර්තු 31 වැනිදාවනවිට සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටස්හිමිකාරීත්වයෙන් කොටස් 85,027ක් එනම් 21.32%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ Gee Gees Properties සමාගමටයි.

එසේම තවත් කොටස් 84,985ක් එනම් 21.3%ක ප්‍රතිශතයක් ගීතාන්ජලී ගජලක්ෂ්මි පෞද්ගලික සමාගමටත්, තවත් කොටස් 75,340ක් එනම් 18.89%ක් ගීතාංජලී ගෘප් පෞද්ගලික සමාගමටත් හිමිය.

මීට අමතරව තවත් කොටස් 51,252ක් එනම් 12.85%ක් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස්හිමිකරුවන්ට අයත් බවත් සඳහන් වෙයි.

Views: 186