ඩොලර් හිඟය සහ ආනයන සීමාව නිසා ACL Cables වෙත ඉල්ලුම සැපයීමට නොහැකි වේවිලු

රටෙහි බැංකු තුළ පවතින විදේශ විනිමය හිඟතාව සහ රට වෙත සිදු කරන ආනයන සිමා කිරීම් හේතුවෙන් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලුවක් මතුව තිබෙන බව ACL Cables PLC සමාගම පවසයි. ඒ අනුව එය සිය නිෂ්පාදන සැපයුම් වෙතද බලපානා බව සමාගම සඳහන් කරයි.

එම සමාගමේ විධායක අධ්‍යක්ෂ දයා වාහලතන්ත්‍රී මහතාගේ අත්සනින් සිය හවුල්කරුවන් වෙත නිකුත් කළ ලිපියක් මගින් එම සමාගම මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව මෙලෙස අමුද්‍රව්‍ය සැපයුමේ අඩුපාඩුවත් සමගින්ම සිය අමුද්‍රව්‍ය තොගවල හිඟතාවක් මතුවනු ඇති බවත්, ඒ හරහා ඉදිරි මාස දෙකක කාලයකදී රට තුළ විදුලි කේබල් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ප්‍රමාණවත් අයුරින් සැපිරීමට සමාගමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් එම සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය මත සමාගම ගන්නා ලද තීරණයකට අනුව සිය සියලුම කේබල් නිෂ්පාදන අලෙවිය මුදල් ගෙවීමෙන් පසුව පමණක් සිදු කිරීමේ ක්‍රමවේදය යටතේ නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා දැනට පවතින සීමිත නිෂ්පාදන තොග ඉක්මණින් මුදල් බවට පත් කරමින්, එම මුදල් දැනට අමුද්‍රව්‍ය පවතින සැපයුම්කරුවන්ගෙන් එම අමුද්‍රව්‍ය මිලදී ගැනීමටත්, සිය සේවකයන්ගේ වැටුප් ගෙවීමට සහ බැංකු වෙත ගෙවීමට ඇති ණය ගෙවීම් සහ බලධාරීන් වෙත සිදු කරන බදු ගෙවීම් සඳහා මූලිකවම යොදා ගන්නා බවත් එම සමාගම සඳහන් කරයි.

“පවතින වර්තමාන තත්ත්වය හමුවේ අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය නිරන්තර සැපයුම් සිදු කිරීම මූලික කරගනිමින් පමණක් මෙම දැඩි මුදල් කළමනාකරණ පියවරට පිවිසීමට සමාගම තීරණය කර තිබෙනවා.” යනුවෙන් ACL Cables PLC මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම තීරණය ඇතැම් ගනුදෙනුකරුවන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව තමන්ද පිළිගන්නා බවත්, පවතින තත්ත්වය තේරුම් ගැනීමට පාරිභෝගිකයන්ද හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම වඩාත් අසීරු අවස්ථාවේදී සියලුම පාරිභෝගිකයන්ගේ, කොටස්හිමිකරුවන්ගේ සහ රටෙහිද දිගුකාලීන සුභසිද්ධිය අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බවත් සමාගම පවසයි.

මේ අතර, මෙම තීරණය යටතේ මුදල් ගෙවීමකින් පසුව භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි ගනුදෙනුකරුවන්ට ඒ හා සමාන පිළිගත හැකි සුරැකුමක් සමාගම වෙත ඉදිරිපත් කළ හැකි බවත්, එවැනි මුදල් නොමැති අවස්ථාවකදී ඉදිරිපත් කෙරෙන සුරැකුමක් සිය සමාගමෙහි බැංකුව මගින් පිළිගනු ඇති බවත් ACL Cables PLC සමාගම වැඩිදුරටත් පවසයි.

Views: 513