නීතිවිරෝධී ඉඩම් ඩැහැ ගැනීමක් ගැන ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙතින් චෝදනාවක්

මෙරට නිශ්චල දේපළ වෙළෙඳාම සම්බන්ධයෙන් සිදු කරන ආයෝජන වෙත යම් අවදානමක් ඇති කරමින් රජයට අයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නීතිවිරෝධී ලෙස ඉඩම් අත්පත් කරගැනීමක් සිදු කරමින් සිටින බව ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ස්ට් පීඑල්සී සමාගම චෝදනා කරයි.

ඒ අනුව මෙහිදී තම සමාගම වෙත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතියක් හරහා හිමිව ඇති ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් වෙත මෙලෙස එම අධිකාරිය වෙතින් බලපෑම් එල්ල වෙමින් පවතින බව එම සමාගම අද පළ වූ ඩේලි එෆ්ටී පුවත්පත වෙත පවසා තිබේ.

පසුගිය ඉරිදා එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් පිරිසක්ද සමගින් පැමිණ අදාළ ඉඩමේ ගේට්ටු විවෘත කරමින් ඊට ඇතුළු වී තිබෙන බවත් එහි සඳහන් වෙයි.

ඩොලර් මිලියන 250ක ආයෝජකයන් ලෙස සිදු කරන මෙම ව්‍යාපෘතිය 2006 වසරේදී ගිවිසුම් අත්සන් තබා ඇති අතර, මේ දක්වාම එහි කටයුතු කිරීමේ නිදහස ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ස්ට් පීඑල්සී සමාගම වෙත හිමිව තිබී ඇත.

මෙහිදී පුවත්පත වෙත වැඩිදුරටත් අදහස් දක්වන එම සමාගමේ ප්‍රකාශකයෙකු, “ඉඩම් නීතිය අනුව ඉඩමක හිමිකම සහිත පුද්ගලයෙකුව බලෙන් ඉන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම අධිකරණ නියෝගයක් නොමැතිව පොලිසියට එය සිදු කරන්න බැහැ. ඒ වුණත් අද පොලිසියේද සහාය ලබන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දූෂණ නිලධාරීන්ගේ නීතිවිරෝධී ඉඩම් මංකොල්ලකෑමේ උත්සාහයක වින්දිතයෙකු බවට ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පත්වෙලා.” යනුවෙන් පවසා තිබේ.

ඉතාමත් මෑතකදී මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය වෙත පිවිසි එම සමාගම අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක්ද වෙයි. එසේම කොළඹ ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම් කිහිපයකම හිමිකාරීත්වය එම සමාගම වෙත අයත් වන අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය අත්පත් කරගැනීමටද සමත් විය.

ඒ අනුව මෙය ශ්‍රී ලංකා රජයේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු වෙත දරුණු පහරක් බවද එම සමාගම පවසයි. “ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සිදු කිරීමේ පහසුකම ඉහළ නැංවීමට ආයෝජකයන් ප්‍රවර්ධනය කරන්නේ මේ විදියටද කියලා අපි අහනවා. මේ රජයට සැබෑ ලෙසම ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය කරන්න වුවමනා නම්, මෙවැනි පුද්ගලයන්ට මිට වඩා වගකිම්සහගතව කටයුතු කරන්න කියන්න තිබුණා., යනුවෙන්ද එම ප්‍රකාශකයා පුවත්පත වෙත පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම සමාගම මෙහිදී සඳහන් කර ඇත.

මෙම ඉඩම සම්බන්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ 2006 වසරේදීය. එහිදී පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු ඊට සම්බන්ධ වන අතර ඉන් පසුව ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම එහි කටයුතු භාර ගැනීම සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු හවුල්කරුවා ලෙස 2006 වසරේදී ජර්මනියේ Baysat GMbh නම් සමාගමක් එකඟතාවකට පිවිස ඇති අතර, එහිදී එවකට නිවාස සංවර්ධන අධිකාරිය වෙත අඩවශයෙන් හිමි ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සූදානමක් පැවතුණි.

කෙසේ වෙතත් පසුව එම ජර්මානු සමාගම එම ආයෝජනයෙන් ඉවත් වූ අතර, L&T Infrastructure Development Ltd, සමාගමක් මගින් එම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් 2016 වසර වන තුරුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීමත් සමගින්ම එය ඉදිකර අවසන් කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය සහ එම සමාගම අතර නව එකඟතාවක් වෙතද පිවිස තිබේ.

එහිදී අදාළ ව්‍යාපෘති සමාගම මගින් මේ සඳහා රුපියල් මිලියන 712ක මුදලක් ගෙවි ඇති බවත්, ඉන් අනතුරුව මෙම එකඟතාව සම්බන්ධයෙන් වන නිවාස සංවර්ධන අධිකාරියේ සම්බන්ධයක් නොමැති බවත්, මීට පෙර එම අධිකාරිය මගින් පවසා තිබූ බවත් සඳහන් වෙයි.

Visits: 197