TESS AGRO PLC වෙත ස්විස්ටර්ලන්ත සමාගමකින් රු.මිලියන 84ක ආයෝජනයකට කැමැත්ත

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ දේශීය ටින් මාළු නිෂ්පාදන සමාගමක් වන TESS AGRO PLC වෙත ස්විස්ටර්ලන්තයේ පිහිටි M/S IPEK S A Switzerland සමාගම මගින් ආයෝජනයක් සඳහා කැමැත්ත හිමිව ඇතැයි එම සමාගම පවසයි.

මෙම ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 84ක් (84,000,000ක්) බවද එම සමාගම සඳහන් කරයි. මෙහිදී අදාළ ආයෝජනය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේද අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම වැඩිදුරටත් පවසයි.

ස්විස්ටර්ලන්තයේ, Lugano හි Via della Posta 2, 6900 යන ස්ථානයේ පිහිටි මෙම M/S IPEK S A Switzerland සමාගම බොරතෙල් වෙළෙඳාම, ඉංජිනේරු සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ඇතුළු විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි.

ඒ අනුව ඉදිරියේදී එම සමූහය ආහාර ආශ්‍රිත කර්මාන්තය සඳහාද යොමුවීමේ අවස්ථාවක් ලෙස මෙම ආයෝජනය සිදු කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී TESS AGRO PLC සමාගමෙහි කොටස් පෞද්ගලික මිලදී ගැනීමක් ලෙස සිදු කරමින් මෙම ආයෝජනය සිදු කිරීමට M/S IPEK S A Switzerland සමාගම කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව TESS AGRO PLC සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් අතරින් මිලියන 168ක් (168,000,000ක්) මේ සඳහා ඉදිරිපත් කරන බව සමාගම  සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි. එහිදී කොටසක් රුපියල් ශත 50කට මිල කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 84ක් ලෙස සටහන්ව තිබේ.

TESS AGRO PLC සඳහන් කරන ආකාරයට සමාගමෙහි වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 407.8 ක් (407,805,528ක්) බව පැවසෙයි. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 339,797,287ක් සහ නිෂ්ඡන්ද කොටස් 50,000,000ක් එහි නියෝජනය වෙන බවත් සමාගම සඳහන් කරයි.

අපනයනය සඳහා වන ටින් මාළු නිෂ්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් ආයෝජනය ලබා ගන්නා බවත් TESS AGRO PLC සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත වැඩිදුරටත් දැනුම් දී සිටියි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී TESS AGRO PLC සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් ශත 0.70ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී සමාගමේ කොටසක වටිනාකම වූ ශත 60ට සාපේක්ෂව ශත 0.10ක එනම් 16.67%ක ඉහළ යාමකි.

Views: 565