මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධියේ වටිනාකම ඩොලර් බිලියන 267ක්

ශ්‍රී ලංකාවේ මන්නාරම ද්‍රෝණිය සතුව ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පතක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. එසේම එය දැනට රට සතු සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපැයිය හැකි අවස්ථාවක් බවද ඔහු පවසා සිටියි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඔහු මේ බව පවසා තිබේ. පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානයවී තිබුණි. එහිදී මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවිය.

ඒ අනුව මෙම තෙල් සහ ගෑස් කැනීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක කොටස් දුන්නද රටට ඩොලර් බිලියන 133.5ක් හිමි වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

එසේම එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර, මන්නාරම ද්‍රෝණිය සතුව ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත්, මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු බලපා ඇති බව හදුනාගත් බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනය සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

“මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම බලපත්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමාත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා.” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

මේ නිසා අමාත්‍යවරයා සතුව තිබු සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට තීරණය කළ බවත්, පැවති සාම්ප්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සදහා සකස් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආ‍යෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හදුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝර්වේ රජයට පළමු සාර්ථක වීම සදහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දී ඇත.

එසේම මෙම කටයුතු සදහා ලොවපුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Views: 495