පොළොන්නරුවේ සහල් මෝල් 6ක සහල් පාලන මිල යටතේ රජයට පවරා ගැනේ

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පැවති සහල් තොග රජයට පවරා ගැනීම අද (08) වැනිදා සිදු කෙරුණු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි. ජනාධිපතිවරයාගේ නියමය අනුව රජයේ පාලන මිල ගණන් යටතේ මෙම පවරා ගැනීම සිදුව තිබේ.

ඒ අනුව නිපුන, තල්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන සහල් මෝල් සතුව පැවති තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු වූ බව පැවසෙයි.

මෙලෙස පවරා ගත් සහල් තොග සතොස වෙළෙඳ සැල් වෙත ප්‍රවාහනයද එම අවස්ථාවේදීම ආරම්භ කළ බවත් එම කාර්යාලය පවසයි. ඒ අනුව මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණ බවද සඳහන් වෙයි.

මෙහිදී නිව් රත්න සහල් මෝල සතුව පැවැති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරීත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත්, එහිදී නිලධාරීන්ගේ රාජකාරියටද බාධා වුණු බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සම්බන්ධවී ඇත.

“රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව, ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සඳහා සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබුණි. නමුත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම මෙලෙස සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කිරීමට ජනපතිවරයා උපදෙස් ලබා දී තිබූණි.” යනුවෙන්ද එම කොමසාරිස් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Visits: 136