Expack මූලික කොටස් නිකුතුවෙන් රුපියල් මිලියන 700ක් රැස්කිරීම අරමුණලු

මෙරට විශාලතම කොරුගේටඩ් කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනයේ දැවැන්තයා වන ඇබර්ඩීන් හෝල්ඩිංග් පෞද්ගලික සමාගමට අයත් Expack Corrugated Cartoons (පෞද්) සමාගම ඉදිරියේදී සැලසුම් කර ඇති සිය මූලික මහජන කොටස් නිකුතුව හරහා සිය සමාගමෙහි 15%ක කොටස් ප්‍රතිශතයක් ගනුදෙනු සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම යෝජිත මූලික මහජන කොටස් නිකුතුවේදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 83.3ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී කොටසක් රුපියල් 8.40ක් බැගින් මිල කෙරී තිබේ.

ඒ අනුව මෙම මූලික නිකුතුව හරහා Expack සමාගම මගින් රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 700කි. සිය නිෂ්පාදන පුළුල් කිරීමේ සැලසුම් සඳහා අවශ්‍ය අරමුදලින් කොටසක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම මුදල් රැස් කරගැනීම අරමුණ බව සමාගම පවසයි.

දැනටමත් Expack සමාගම මගින් මෙම යෝජිත මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ඉල්ලුම්පත්‍ර කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී මෙම මූලික නිකුතුවෙහි ඒකාබද්ධ කළමනාකරුවන් සහ මූල්‍ය කළමනාකරුවන් ලෙස කැපිටල් එලායනස් (CAL) සහ ඒෂියා සෙකියුරිටීස් යන සමාගම් ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙයි.

බොහෝ දුරට මෙම මූලික මහජන කොටස් නිකුතුව ඔක්තෝබර් මාසයේ තෙවැනි සතියේදී පමණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඒ හා සම්බන්ධ තොරතුරු අනුව සටහන්ව තිබේ.

සුප්‍රසිද්ධ කාසිම් පවුලට අයත් ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම යටතේ පවතින Expack Corrugated Cartoons (පෞද්) සමාගම එළිදක්වා ඇති සිය ආසන්නතම මූල්‍ය දත්තවලට අනුව 2021 මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ ආදායම රුපියල් බිලියන 4.8ක් ලෙස සටහන්ව ඇත. 2020 මූල්‍ය වර්ෂයේදී එය රුපියල් බිලියන 4.6ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර Expack Corrugated Cartoons (පෞද්) සමාගම ඉදිරියේදී නවතම කර්මාන්තශාලාවක් ඉදිකිරිමටද සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් බිලියන 2.98ක් බව අනාවරණයකර තිබේ. ඒ හරහා සිය වර්තමාන මාසික නිෂ්පාදන ධාරිතාව වන මෙට්‍රික් ටොන් 2750 ඉදිරියේදී මෙට්‍රික්ටොන් 4000ක් දක්වා වර්ධනය කරගැනීම අරමුණ බව පැවසෙයි.

ඒ අනුව මෙම යෝජිත මූලික කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් මිලියන 700ට අමතරව එම සමාගම සතුව ඇති අභ්‍යන්තරව උපයාගත් අරමුදල් මෙන්ම ණය හරහා ලබා ගත් අරමුදල් මේ සඳහා යොදා ගැනීම එම සමාගමේ බලාපොරොත්තුව වන බවත් සඳහන්ව තිබේ.

අද වන විට Expack Corrugated Cartoons (පෞද්) සමාගම සතුව 600කට අධික පාරිභෝගික පදනමක් පවතින අතර, FMCG, පාරිභෝගික නිෂ්පාදන, ඇගලුම්, තේ සහ මත්ෂ්‍ය නිෂ්පාදන ඇතුළු එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර රැසක ප්‍රදාන පෙළේ සමාගම් ඊට අයත් වෙයි.

මීට අමතරව 2020 මහ මැතිවරණය අවස්ථාවේදී භාවිතා කෙරුණු ඡන්ද පෙට්ටි නිර්මාණය සහ නිෂ්පාදනයද Expack Corrugated Cartoons (පෞද්) සමාගම මගින් සිදු කළ අතර එහිදී ඡන්ද කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් එවැනි ඡන්ද පෙට්ටි 12,350ක් සැපයිමට සමාගම සමත් වූ බවත් පවසයි.

Visits: 612