ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 937කින් ඉහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ ගැණුම් හිමිකම් (SDR) හි වෙන්කිරිම් සහ බංග්ලාදේශ බැංකුව සමග ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් සමගාන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක මුදලකට සමාන මුදලක් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති අතර, බංග්ලාදේශ බැංකුව සමග වන එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක විදේශ විනිමය හුවමාරුගිවිසුම යටතේ මේ දක්වා අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 150ක් හිමිව තිබේ. ඉතිරි ඩොලර් මිලියන 50 නුදුරේදීම නිදහස් කෙරෙනු ඇතැයිද මහ බැංකුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍යඅරමුදලේ විශේෂ ගැනුම් හිමිකම හරහා එහි සාමාජිකයන් වෙත ලබා දුන් ඩොලර් බිලියන 650කට සමාන මුදල මගින් වසංගතය හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කරමින් සිය ආර්ථිකය ශක්තිමත් කිරීමට එම රටවලට අවස්ථාව පවතී.

මෙය කිසිදු විටෙකත් ණයක් නොවන බවත්, ඒ හා බැඳුන් විශේෂ කොන්දේසි නොමැති බවත් මහ බැංකුව පවසයි. මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 1970-72, 1979-81 සහ 2009 යන කාලවලදීද සාමාජික රටවලට මෙම විශේෂ ගැණුම් හිමිකම් ප්‍රතිපාදන වෙන් කර දී තිබේ.

මෙම අවස්ථා දෙකට අමතරව චීන සංවර්ධන බැංකුව මගින් ලබා දෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම්ද ඉදිරියේදී සම්පූර්ණවීමට නියමිත බව මහ බැංකුව පවසයි. ඒ හරහා ලැබෙන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වෙයි.

මෙලෙස ලැබෙන විදේශ විනිමය හරහා රටේ දළ නිල සංචිත වැඩි දියුණූ කිරීමට උපකාරී වන බවත්, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සලසන බවත් සඳහන් වෙයි.

එසේම රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකාවේ විදේශවිනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

Views: 231