HNB ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් 37ත් වන ආසියානු බැංකුකරුවන්ගේ සමුළුව අමතයි

HNB ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස් මහතා කීර්තිමත් ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ (ABA) සභාපති වශයෙන් ආසියානු බැංකු සඳහා ලොව ප‍්‍රමුඛ වේදිකාවක් වන 37 වන මහා සමුළුව පසුගියදා ඇමතූ බව බැංකුව සඳහන් කරයි.

මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව මුලදී තීරණය කර තිබුණ ද පවතින වසංගත තත්වය මධ්‍යයේ එය මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව ”ආසියානු බැංකු පවතින නව සාමාන්‍යකරණය තුළ තිරසාර වර්ධනයක් අත්කරගන්නේ කෙසේද?” යන තේමාව යටතේ මාර්ගගත ක‍්‍රමය ඔස්සේ 2021 අගෝස්තු 24 සිට 27 දක්වා එය පැවැත්විණි. බැංකු ක්ෂේත‍්‍රයේ වැදගත් පුද්ගලයින් රැසක් ඒ සදහා සහභාගී විය.

මෙම සමුළුව අමතමින් අලස් මහතා පශ්චාත් කොරෝනා ආර්ථික ප‍්‍රතිසාධනයට සහාය වීම සදහා බැංකු ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේය.

මෙම සමුළුව අමතමින් HNB ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස් මහතා ”අද වන විට ගෝලීය වශයෙන් මුදල් අවශ්‍ය අයට මුදල් බෙදාදීමේ පද්ධතියක් ලෙස බැංකු කි‍්‍රයාත්මක වනවා. අවසානයක් හඳුනාගත නොහැකි තරමටම කොවිඞ් වසංගතය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර මෙම අභියෝගයට වර්තමානයේදී අප කෙතරම් සාර්ථකව ප‍්‍රතිචාර දක්වන්නේද යන්න අනුව බැංකු ක්ෂේත‍්‍රයේ ඉදිරි අනාගත ස්ථාවරභාවය තීරණය වන බව පෙනෙන්නට තිබෙනවා. මෙම අර්බුදය තුළ රජයට සහ පාරිභෝගික ජනතාවට අප විසින් හැකි තරම් සහය දැක්විය යුතුයි. මෙහිදී 2008 ගෝලීය මූල්‍ය අර්බුද අවස්ථාවේ සිට වැඩි දියුණු කරන ලද ක‍්‍රමෝපායන් භාවිතා කරමින් නොදියුණු ප‍්‍රදේශවලටත් අදාල වන ලෙස සහනදායී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු වනවා. එමෙන්ම ශක්තිමත් හා ස්ථාවර බැංකු ක්ෂේත‍්‍රයක් ශක්තිමත් ප‍්‍රතිසාධනයක් සඳහා හේතු වන බව ස්ථිරව ප‍්‍රකාශ කළ හැකියි.” යනුවෙන් ඔහු පැවසුවේය.

එමෙන්ම පුළුල් වෙළෙදපොල අවශ්‍යතාවයන් සපුරාලීමට නව සාමාන්‍යකරණය තුළ ඇති අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගැනීමේදී නවෝත්පාදනයන්ගේ සහ තාක්ෂණික දියුණුවේ ඇති වැදගත්කම අලස් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

”ඒකාකාරී මාවතකින් ඔබ්බට ගොස් අප නවෝත්පාදනයන් භාවිතා කරමින් සංවර්ධනය දක්වා ගමන් කළ යුතුයි. ආසියාවේ බැංකු මේ වන විට මුහුණ දී සිටින ප‍්‍රධාන ගැටළුවක්  වන්නේ පැරණි ක‍්‍රමවලින් නව ක‍්‍රමවේදයන්ට මාරු වීමට ඔවුන්ට නොහැකි වී තිබීමයි. නමුත් මෙම වසංගත තත්වය හමුවේ අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සඳහා මෙම නවෝත්පාදනයන් මත අප විශ්වාසය තැබිය යුතු වනවා. ගෝලීය තාක්ෂණ විප්ලවයේ සහ කාර්මික විප්ලවයේ නව මුහුණුවරට ලෝකයා අනුගත වීමත් සමඟ නවෝත්පාදනයන් සහ නව තාක්ෂණය භාවිතා කිරීම තුළින් බැංකු කටයුතු හා සේවා ඉහළ නැංවීම සහ වේගවත් කිරීම සඳහා මානව ප‍්‍රාග්ධනයේ සහ වෙළෙදපොල වාසි ප‍්‍රයෝජනයට ගත හැකියි.”  

වසංගත තත්වය හමුවේ පැනනැගුණු වෙනස්කම්වලට ප‍්‍රතිචාර දැක්වීම උදෙසා සහ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමට මෙම 37ත් වන ආසියානු බැංකුකරුවන්ගේ සංගම් සමුළුවෙදී කලාපයේ බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් සමඟ තම අදහස් හුවමාරු කරගත් එකම බැංකු වෘත්තිකයා අලස් මහතා පමණක් නොවීය.

වර්තමාන බැංකුකරණ ප‍්‍රවණතාවන්, නියාමන ප‍්‍රතිපත්ති සහ ඒවායේ බලපෑම සදහා වූ නියාමක වටමේස සැසිවාරයේ දී HNB විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සභාපති ලෙසත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ (CBSL) ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා එහි සාමාජිකයෙකු ලෙසත් සහභාගී වනු ඇත.

ඊට අමතරව අලස් මහතා ”නව ලෝකයෙහි සැරිසැරීම” යන මාතෘකාව යටතේ වන විධායක නිලධාරී වට මේසයේ පර්යේක්ෂකයෙකු ලෙස කටයුතු කරයි. “වෙනස් ගෝලීය පරිසර පද්ධතික අභියෝගයන්ට හා බාධාවන්ට ප‍්‍රතිචාර දැක්වීම” සහ “තිරසාර වර්ධනයේ දී තාක්ෂණයේ කාර්යයභාරය” යන මාතෘකා යටතේ අනෙක් සැසිවාරයන් පැවැත්වීය.

Visits: 91