එංගලන්තයේ ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලූක්’ වෙතින් කොමර්ෂල් බැංකුවේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ මෙහෙයුම්වලට සම්මාන

ලෝකය පුරා ව්‍යාපාර සහ කර්මාන්ත ඇගයීමට ලක්කරමින් සම්මානයට පාත‍්‍ර කරන එංගලන්තය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් අවුට්ලූක් (GBO) සඟරාව විසින් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ සහ බංග්ලාදේශයේ ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇතැයි පවසයි.

මෙම සඟරාව මගින් කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන් වූ හතරවන අවස්ථාව මෙය වන අතර 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශයේ ‘හොඳම විදේශීය බැංකුව’ යන සම්මානද කොමර්ෂල් බැංකුව මෙම සඟරාව වෙතින් දිනාගන්නා ලදී.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන අවශ්‍යතා සපුරාලීමට සිදුකළ මෙහෙවර සහ බැංකුව විසින් මෙම ක්ෂේත‍්‍රයටම ගොඩනගා තිබෙන මූල්‍ය සේවාවන් ඇගයීමට ලක්කරමින් කොමර්ෂල් බැංකුවට මෙවර ශ‍්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ යන සම්මානය පිරිනමා තිබේ.

මේ අතර, නව ගිණුම්, තැන්පතු සහ අත්තිකාරම් අංශයෙන් බැංකුව ලබාගෙන තිබෙන ප‍්‍රගතිය සහ ආයතනික සහ පුද්ගලික බැංකු ගනුදෙනුකරුවන්ට ලබාදුන් සේවාවන් මෙන්ම බංග්ලාදේශය තුළ සිදුකළ නව බැංකු සේවාවන් සහ බැංකුවේ අන්තර්ජාල බැංකුකරණයේ වර්ධනය සැලකිල්ලට ගනිමින් බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශීය බැංකුව’ යන සම්මානය මෙම සඟරාව විසින් කොමර්ෂල් බැංකුවට ලබාදී තිබේ.

මෙම සම්මාන පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකම සම්බන්ධයෙන් සම්මාන ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරියට යාමට ඉතාමත් අසීරු සමයක අපි විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්වීම පිළිබඳව අපි තවත් සතුටු වෙනවා. කොමර්ෂල් බැංකුව හොඳ වගේම අසීරු කාලයන්හි මෙම අංශය සමග අඛණ්ඩවම එකට සිටියා. ඉතාමත් තරගකාරී වෙළෙඳපොළක් වන බංග්ලාදේශය තුළ යළිත් හොඳම විදේශීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වීම පිළිබඳව ද අපි ධෛර්යයමත් වනවා.’

2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදීම යටතේ කොමර්ෂල් බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර වලට මූල්‍ය සහයෝගය ලබාදෙන ලදී. මේ යටතේ කාර්ය ප‍්‍රාග්ධනය ලබාදීම සඳහා විවිධ ණය සහන වැඩසටහන් තුළින් සැලකිය යුතු මුදල් ප‍්‍රමාණයක් කොමර්ෂල් බැංකුව විසින් පසුගිය කාලයේදී ලබාදී තිබේ. මෙම ණය සහන වැඩසටහන් යටතට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කළ ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනර්ජීවන ණය පහසුකම’ සහ බැංකුව විසින් වෙනමම ක‍්‍රියාත්මක කළ ණය සහන වැඩසටහන් ඇතුළත් වේ.

බැංකුව විසින් 2020 වසරේදී සිය සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ පරිවර්තන මෙහෙයුම සම්පූර්ණ කළ අතර ඒ යටතට මධ්‍යම ණය සැකසීමේ ඒකකයක් ස්ථාපිත කිරීමද ඇතුළත් විය. මේ තුළින් 2020 වසරේ ‘සෞභාග්‍යා’ ණය වැඩසටහන යටතේ වැඩිම සුළු හා මධ්‍යම පරිමාණ ණය ප‍්‍රමාණයක් ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුව බවට පත්වීමට කොමර්ෂල් බැංකුවට හැකිවුණි.

Views: 110