කොළඹ කොටස් හුවමාරුව සහ බටහිර කැනඩා විශ්ව විද්‍යාලය අතර සහයෝගිතා යාන්ත්‍රණයක් සඳහා ගිවිසුම් ගතවීමක්

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ බටහිර කැනඩා විශ්වවිද්‍යාලය (UCW) එක්ව අන්‍යෝන්‍ය සංවර්ධනය සඳහා වූ සහයෝගිතා ප්‍රයත්නයන් විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කර සිටියි.

මෙම අවබෝධතා ගිවිසුම, විධායක පුහුණු අවස්ථාවන්හි සහයෝගීතාව සහ අනාගත සහයෝගීතාව ප්‍රවර්‍ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධාන දෙකේ පොදු අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම ව්‍යාපාර විශ්ලේෂණ, මූල්‍ය හා අවදානම් කළමනාකරණය යන අංශයන්හි පුහුණුව හා නිපුණතා වර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට දායක වීමට නියමිතය. මූලිකව, සංවිධාන දෙක ඒකාබද්ධව UCW හි කීර්තිමත් පීඨය විසින් මෙහෙයවනු ලබන විධායක වැඩසටහනක් දියත් කරනු ඇත.

මෙම වැඩසටහන ඉලක්ක කරන්නේ මූල්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් සහ ආයෝජන විශ්ලේෂණය සහ කළමනාකරණය, ගෝලීය මූල්‍ය ආයතන කළමනාකරණය සහ ව්‍යාපාර විශ්ලේෂණ වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ය. මේ සඳහා සම්බන්ධ වන්නන්ගේ ප්‍රවේශ වීමේ සුදුසුකම් සපුරාලන විට UCW මගින් ප්‍රධානය කරනු ලබන MBA පාඨමාලාව තෙක් ඉදිරියට යාමට මෙයට සහභාගිවන්නන් උනන්දු කරවනු ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙම ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “මෙම අවබෝධතා ගිවිසුම තුළින් UCW සමඟ විධිමත් සහයෝගීතා මාර්ගයක් ස්ථාපිත කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ අධ්‍යාපනය ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කළ යුතු යැයි අපි සලකන අතර CSE හි අධ්‍යයන කටයුතු ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රගතිශීලී සංවිධාන සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අපි උත්සාහ කරමු. කොළඹ කොටස් හුවමාරුව ,UCW සමඟ ආකර්ෂණීය හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමු” යැයි පැවසීය.

UCW හි සභාපති සහ උපකුලපති බ්‍රොක් ඩයික්මන් (Mr. Brock Dykeman) මහතා මෙසේ පැවසීය, “මෙම ප්‍රයත්නයේදී කොළඹ කොටස් හුවමාරුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. ‘ව්‍යාපාර හා තාක්‍ෂණය’ කේන්ද්‍ර කරගත් විශ්ව විද්‍යාලයක් ලෙස මෙම හවුල්කාරිත්වය මඟින් ව්‍යාපාර පුහුණුව සහ ක්ෂේත්‍රයට අදාළ කුසලතා වැඩි පිරිසකට ලබා ගැනීමට උපකාරී වෙනු ඇත. CSE සමඟ දිගු හා ඵලදායී සම්බන්ධතාවයක් අපි බලාපොරොත්තු වෙමු.” යනුවෙන් පවසා තිබේ.

Visits: 254