අලුත්ම සිංහල ෆොන්ට්ස් 10ක් එකවර අරන් එන ‘කෙකරා’

ප්‍රකාශනය මුද්‍රිත මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය වෙත ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් තිබෙන මේ අවස්ථාවේ, එම ප්‍රකාශනයන් වඩාත් ආකර්ෂණීය ලෙස සහ නැවුම් ලෙස ඉදිරිපත් කරන්නට නිර්මාණකරුවන් හැම විටම උත්සාහ ගන්නා ආකාරය අද අපට සමාජ මාධ්‍ය තුළින් ඉතාමත් හොඳින් දැකගත හැකිය.

කුඩා ව්‍යාපාරයේ සිට මහා පරිමාණ සමාගම් පවා අද වනවිට සිය ප්‍රචාරණ යාන්ත්‍රණයේ වැඩි බරක් සමාජ මාධ්‍ය වෙත ලබා දී තිබේ. එහිදීද සිංහල බසින් පළ කෙරෙන ඉමේජ සහිත පෝස්ට් සඳහා වැඩි අවස්ථාවක්ද හිමිව තිබේ. මෙලෙස ප්‍රසිද්ධියට පත් කරන Post වැනි නිර්මාණ හරහා සෑම සමාජ මට්ටමකම සිටින සිය පාරිභෝගිකයන් මෙන්ම පාරිභෝගිකයන් නොවන පිරිස්ද ඇඳ බැඳ තබා ගැනීම ඔවුන්ගේ උත්සාහයයි.

අද මෙම නිර්මාණවලදී සිංහල අක්ෂරය වෙත වැඩි අවස්ථාවක් හිමි වන්නේ මෙම කරුණු හේතුවෙනි. එකිනෙකට වෙනස් සිංහල අක්ෂර හැඩයන් එසේත් නැත්නම් පරිගණක ෆෝන්ට්ස් (අද දවසේදී නිර්මාණකරුවන් අතර මෙය රුවකුරු යන සිංහල වචනය යොදා ගැනේ) සඳහා වන අවශ්‍යතාව සහ ඉල්ලුමද මේ අනුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එම ඉල්ලුමට සැපයුම දෙන්නට මෙරට ප්‍රවීණ මෙන්ම ආධුනික අක්ෂර නිර්මාණකරුවන් රැසක්ම ඉදිරිපත්ව සිටියි.

‘FONTKEKO’ සන්නාමය යටතේ සිය අක්ෂර නිර්මාණ ඉදිරිපත් කරන චමින්ද කුමාරද මේ අතර සිටින තවත් දක්ෂ නිර්මාණකරුවෙකි. පසුගියදා ඔහු සිය අක්ෂර නිර්මාණ 10ක් එකට ගොනුකර පැකේජයක් ලෙස පාරිභෝගිකයන් වෙත සාධාරණ මිලකට ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය.

‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අපත් චමින්ද සමගින් පසුගියදා කතාබහක යෙදුණේ ඔහුගේ මෙම නිර්මාණ පැකේජය සහ අක්ෂර නිර්මාණකරුවෙකු වෙත සමාජයේ තිබෙන පිළිගැනීම සහ ඔහුගේ නිර්මාණ වෙත වෙළෙඳ පොළ තිබෙන ආරක්ෂාව පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අරමුණිනි.

ඔහු අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසින්ද කටයුතු කරමින් මෙම නිර්මාණ පිළිබඳ දැනුම ඊළග පරම්පරාව වෙත ලබා දෙමින් සිටියි.

චමින්ද මේ රුවකුරු 10ක් සහිත පැකේජය මොකක්ද?
මම ගොඩක් කැමති  අලුත්ම රුවකුරු හැඩ නිර්මාණය කරන්න. fontkeko විසින් දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණය කරන ලද රුවකුරු 10ක් තමයි මේ ගොනුවට ඇතුලත් වෙන්නේ. විවිධ තේමාවන්, සංකල්ප මේ රුවකුරු සදහා පාදක වී තිබෙනවා. පන්හිද, කොත්තු, කබ්බා, බණ්ඩා, බ්ලාස්ට්, බ්‍රෂ්, කෙකෝ, ගමගෙදර, මලී, හරිත, නිදහස, සිතිජය සහ හස්ථ මේ රුවකුරු ගොනුවට ඇතුලත් වෙනවා.

මේ නිර්මාණ 10ත් එක්ක රුවකුරු ප්‍රදර්ශනයක් කරන්න ලොකු උනන්දුවක් තිබුනා. ඒකත් ඔලුවේ තියාගෙන තමයි මේ අලුත් අකුරු කීපය නිර්මාණය කලේ. ඒත් මේ මොහොතේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ඒ සදහා අවකාශයක් නිර්මාණය වෙන්න තව කාලයක් ගතවේවි. ඒ නිසා රුවකුරු පිපාසයෙන් පෙලෙන නිර්මාණ ශිපින්ට මේ අකුරු ලබාදෙන්න මම තීරණය කළා.

https://www.facebook.com/fontkeko ෆේස්බුක් අඩවියට පිවිසිලා මේ රුවකුරු නිර්මාණ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන්. රුවකුරු 10ම හරි එක් රුවකුරක් හරි අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුළුවන්. දැනටමත් මේ රුවකුරු නිර්මාණ වෙළෙඳ දැන්වීම් ආයතන වගේම ප්‍රකාශන ආයතන කිහිපයකත් භාවිතයට ගන්නවා.

චමින්දට නිර්මාණකරුවෙකු වීම සඳහා පසුබිම සැකසෙන්නේ කොහොමද?
ගාල්ල, යක්කලමුල්ලේ පිහිටලා තියෙන නබදව කියන ගම තමයි මගේ උපන් ගම. මුලික අධ්‍යාපනය ගා/නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්, දුටුගැමුණු විද්‍යාලය හා පොල්පාගොඩ ධර්මපාල විද්‍යාලයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලැබුවා. මට චිත්‍ර විෂය සදහා විශේෂ උනන්දුවක් තිබුනා. චන්ද්‍රසේන උලුවිටිගල සර්  හා නන්දනී මිස් මෙන්ම සියලු  ගුරුවරු මේ වෙලාවේ මතක් කරනවා. අවසානයේදී මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලට ඇතුලත් වෙන්න අවස්ථාව ලැබුණා.

එහි දෘශ්‍ය කලා පිටියේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යන අංශයෙන් නිර්මාණාත්මක සන්නිවේදනය පිලිබදව විශේෂ උපාධියක් සහ පළමු පෙළ සාමාර්ථයක් සහිතව 2011 වසරේදී මම ඉන් පිට වෙනවා. ඊට පස්සේ ලංකාවේ වෙළද ප්‍රචාරණ ආයතන කීපයක ගැෆ්‍රික් නිර්මාණ ශිල්පියෙකු විදියට වැඩකරලා, සෞදි අරාබියාවේ වෙළද ප්‍රචාරක ආයතනයක වසර දෙකක් සේවය කර ආපසු ලංකාවට ආවා. අනතුරුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යනාංශයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කිරීමට මට අවස්ථාව ලැබුණා. නිර්මාණාත්මක පරිගණක ගැපික් හා අක්ෂර සැලසුම් පිලිබදව පර්යේෂණ කරමින් සිසුන්ට අවබෝධය ලබදෙමින් සිටිනවා .

මේ විදියට රුවකුරු නිර්මාණය කරන්න යොමු වුණේ කොහොමද?
මට පාසල් කාලයේදී ගමේ මළගෙදර, මගුල් ගෙදර, ක්‍රීඩා උත්සව, පිළිගැනීමේ උත්සව, දේශපාලන දැන්වීම් සැමතැනම  අකුරුවලින් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මේ කාර්යන් තුල නියැලීමට ලොකු නිදහසක් ඒ කාලයේ තිබුණා. ඒ වගේම විවිධ දේශපාලනික, කලා මතවාදයන් වලින් විශ්ව විද්‍යාලය පිරිලා තිබුනා. ඒ විවිධත්වය මගේ කලා මතවාදයන් පෝෂණය වීමට ලොකු පිටුවහක් වුණා කියලයි මගේ අදහස.

විශ්වවිද්‍යාලයේ typography ලෙස වෙනම විෂයක් තිබුනා. බාහිර කථිකාචාර්ය නිශාන්ත සර් සමග රුවකුරේ විවිද හැඩ  ප්‍රයෝගික අත්හදාබලන්න  පුළුවන් උනා. කොළබ විශ්වවිද්‍යාලයේ අක්ෂර සැලසුම් කරණය පිලිබදව පාඨමාලාවක් තිබුණා එතැනදී තමයි පරිගණක අක්ෂර සැලසුම් පිළිබදව උනන්දුව ඇති වුණේ.

විශේෂයෙන් විනිහෙට්ටිගොඩ සර්, වර්ණ සොමිරත්න රුවකුරු නිර්මාණ ශිල්පියා ලබාදුන්න සහයෝගය මතක් කරන්න ඕන. මගේ මුල්ලම රුවකුර තමයි ‘කෙකරා (KEKARA) ‘ කියන්නේ. විශ්ව විද්‍යාලය තුල ගොඩක් දෙනෙක් මාව දන්නේ ඒ නමින්. අවසානයේ ඒ නම තමයි KEKO කියන වෙළෙඳ නාමය බවට පත් වුණේ. මගේ පළමු රුවකරු මම නොමිලේ ඕනෑම කෙනෙක්ට ලබාගන්න නිදහස් කළා.

අද ලංකාවේ රුවකුරු නිර්මාණයේ නිර්මාණකරුවන්ගේ තත්ත්වය කොහොමද?
ලංකාව තුළ සිංහල රුවකුරු විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ නැ. පුෂ්පානන්ද ඒකනායක මහතා මීට  වසර 20 ටත් පෙර නිර්මාණය කළ රුවකුරු කීපයක් තමයි තාමත් තියෙන්නේ. රුවකුරු නිර්මාණ ශිල්පීනුත් ඉන්නේ සුළු ප්‍රමාණයක්. මේ නිසාම අද මේ සදහා වෙළද පොලක් නිර්මාණය වෙලා තියෙනවා. අලුත් රුවකුරු වලින් වැඩ කරන්න කැමැත්තක් දක්වන ගොඩ දෙනෙක් මට කතා කරනවා. ගොඩ දෙනෙක් රුවකුරු ලබාගෙන තියෙනවා.

හැබැයි මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ හිමිකම් ගැන එදා ඉදන්ම ගැටලුවක් තිබුණා නේද?
ඔව්, ඇත්ත. Copyright එහෙමත් නැත්නම් කතුවරයාගේ හිමිකම කියන කාරණාව රුවකුරු සම්බන්ධයෙන් විතරක් නෙමේ, අනිත් සියලුම නිර්මාණවලදීත් අර්බුදයක්. මේ කාරණාවේදී ලංකාවටම අවේනික ප්‍රශ්න කීපයක් දකින්න පුළුවන්. රුවකුරු නිර්මාණයේ ඇත්ත වටිනාකම ශිල්පියාට ලැබෙනවද කියන දේ අදත් ගැටලුවක්. ඒ වගේම මුල් නිර්මාණකරුගේ රුවකුරම වෙනස්කම් කීපයකට ලක්කරලා එහි අභ්‍යන්තර තොරතුරු තමන්ගේ වගේ ඉදිරිපත් කරපු පුද්ගලයනුත් දකින්න පුළුවන්.

විවිධ හැඩයන්ගේ රුවකුරු සඳහා අද ඉහළ උනන්දුවක් නිර්මාණය වෙලා තිබෙනවා නේද?
අද විවිධ පිරිස්, සමාගම්, ව්‍යපාර ආයතන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න විවිධ නිර්මාණාත්මක ආයතනවල සහාය ලබා ගන්නවා. එතැනදී ඒ නිර්මාණ ආයතනවල සිටින පුද්ගලයන් අලුත් රුවකුරු ගැන උනන්දුවක් දක්වනවා. ඒ විදියට පිරිසක් නිර්මාණය වෙලා තියෙන එක සතුටට කරුණක්.

අලුතින් රුවකරු නිර්මාණයට පැමිණෙන්න බලාපොරොත්තු වන අයට කියන්න තියෙන්නේ මොකක්ද?
මෙතැනදී වැදගත්ම දේ තමයි ගුණාත්මක නිර්මාණ සිදුකිරීමේ වගකීම. අපේ සිංහල අකුරු කියන්නේ ඉතාමත් ලස්සන හැඩයක් තියෙන අකුරු වර්ගයක්. ඒක අපිට ඕනෑ විදියකට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒ අකුරේ නියමිත ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින්, වඩාත් ගුණාත්මකව තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න අලුතෙන් රුවකුරු නිර්මාණය සදහා යොමුවන ශිල්පීන්ට ලොකු වගකිමක් තියෙනවා.

අද වන විට මටත් අමතරව මෙම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සිට නියැලෙන අලුත් පරම්පරාවේ ශීල්පීන් වන දමිත් වැලිකල, ලලිත් රත්නායක, පැතුම් එගොඩවත්ත වැනි ශිල්පීන් සිංහල රුවකුරු පෝෂණය කිරීම සදහා දක්වන සත්කාරයත් මෙතැනදී අගය කළ යුතුමයි. මමත් ඇතුළුව මේ නිර්මාණකරුවන් සිදුකරන නිර්මාණවලට නියමිත  වෙළෙඳ පොළ වටිනාකමක් ලැබුණොත් තමයි අපිට අලුත් නිර්මාණ කරන්න තවත් උනන්දුව සහ ධෛර්ය ලැබෙන්නේ.

මේ අලුත් රුවකුරු 10 න් පස්සේ සැලසුම මොකක්ද?
විශ්වවිද්‍යාලයේ කටයුතු සිදුකර ගමන් ඉඩ ලැබුණු සැම මොහොතකම අලුත් අකුරක් සදහා හැඩයක් කුරුටුගෑම මගේ පුරුද්දක්. ලංකාවේ නිර්මාණකරුවන්ගේ රුවකුරු පිපාසය සංසිඳුවන්න හැකි ඉක්මණින්ම තවත් අලුත් නිර්මාණ කීපයක්ම හැකි ඉක්මණින්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.

Hits: 450