ඕමාන ආයෝජන සමාගම කොළඹ හිල්ටන් සහ ග්‍රෑන්ඩ් හයාට් හෝටල් ගැනත් අවධානයෙන්ලු

කොළඹ කොටුවේ පිහිටි චාම්ස් ධාන්‍යාගාරය සහ ගුවන්හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල වෙත මුදල් ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති ඕමාන රජයට අයත් ආයෝජන හස්තය වන Shumookh Investment and Services සමාගම ශ්‍රී ලංකා රජයට අයත් කොළඹ හිල්ටන් හෝටලයේ සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වෙතද ආයෝජන සිදු කිරීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වෙයි.

අද දිනයේදී පළකෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මෙම කරුණු අනාවරණය කර සිටියි. පසුගිය සතියේදී එම ආයෝජන සමාගම මගින් ඉහත සඳහන් කළ ඉඩම් දෙක සඳහා වන සිය කැමැත්ත ප්‍රකාශ කිරීම ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

මෙම Shumookh Investment and Services සමාග දැනටමත් සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය විදුලි උද්‍යානයන් පිහිටුවීම සඳහා වන යෝජනාවක්ද ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර තිබේ. එසේම පසුගිය ජූලි මාසයේදී එම සමාගම මගින් කොළඹ නගරයේ ඇති දේපළ සංවර්ධනය පිළිබඳව ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා සිය නියෝජිතයන් පිරිසක් එවා ඇතැයිද පුවත්පත අනාවරණය කරයි.

මේ අතර, Shumookh Investment and Services සමාගම කොළඹ හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සම්බන්ධයෙන්ද සිය උනන්දුව පළ කර තිබෙන අතර, අද වනවිට එම ව්‍යාපාර දෙකම මෑතකදී පිහිටවුණු ශ්‍රී ලංකා රජයට අයත් ආයෝජන හස්තය වන සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සඳහා ඉදිරිපත්ව තිබේ.

මෙහිදී සෙලෙන්දිවා ලෙෂර් ලෙස සමාගමක් පිහිටුවා ඇති අතර හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට අමතරව ග්‍රෑන්ඩ් හයාට් හෝටලයද ඊට අයත් වෙයි. ඉදිරියේදී මෙම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද සැලසුම් කර තිබේ. මේ හරහා සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගමේ 51%ක කොටසක් රජයට අයත්වත්, 49%ක් කොටස් ලෙස ආයෝජකයන් වෙත අවස්ථාව ලබා දීමත් සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් මේ අතරින් හිල්ටන් හෝටලය සම්බන්ධයෙන් නඩුවක් ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී එය සමතයකට පත්වීමෙන් අනතුරුව රජය විසින් Shumookh Investment and Services සමාගම ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Views: 257