දැඩි ලොක්ඩවුන් සීමා ගැන ‘කප්රුකේ’ දුලිත් අකමැතියිලු

රට තුළ දැඩි ලොක්ඩවුන් සීමා පැනවීම් සම්බන්ධයෙන් තමන් අකමැති බව සුප්‍රසිද්ධ අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවියක් වන කප්රුක වෙබ් අඩවියේ නිර්මාතෘ දුලිත් හේරත් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙවැනි ලොක්ඩවුන් සීමා තමන් වැනි විශාල සමාගම් වෙත දරා ගැනීමට හැකියාව ලැබුණත්, දහස් ගණනක් වන කුඩා ව්‍යාපාර වෙත එය සිදු කළ නොහැකි බව ඔහු පවසයි.

“මම දැඩි ලොක්ඩවුන් සීමා ගැන ඉන්නේ බොහෝ අකමැත්තෙන්. අපි වගේ විශාල සමාගම් වෙත එය දරා ගන්න හැකි වේවි. ඒත්, බාබර් සාප්පු, හන්දියේ කඩේ සහ පෙට්ටි කඩේ වැනි දහස් ගණනක් වන කුඩා ව්‍යාපාර කල් ඉකුත්වූ තොග සහිතව බින්දුවටම වැටෙන්න පුළුවන්.” ඔහු සඳහන් කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක් සිදු කළ යුත්තේ දැනට සිදු කරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය ඉදිරියටත් සිදු කරගෙන යාම බවද දුලිත් හේරත් මහතා සිය සටහනේ පවසා තිබේ.

මේ අතර දුලිත් හේරත් මහතාගේ කප්රුක වෙබ් අඩවිය මගින් පසුගියදා දර මිටියක්ද අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර තිබූ අතර, රුපියල් 140කට එය මිල කෙරී තිබුණි.

Visits: 155