ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය වෙනුවෙන් බවර් සමාගමෙන් විද්‍යාත්මක හා ප්‍රායෝගික සැලැස්මක්

ශ්‍රී ලංකාව සිය සුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කරන මෙම අවස්ථාවේදී, එම පරිවර්තනයට ශක්තියක් වෙමින් ඒ සඳහා විද්‍යාත්මක හා ප්‍රායෝගික සැලැස්මක් හඳුන්වාදීමට සිය සමාගම කටයුතු කරන බව, මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප්‍රකට, බවර් සමාගම නිවේදනය කරයි.

පසුගිය කාලය තුළ විද්‍යාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙරට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ ලබාගත් විද්‍යාත්මක දත්ත හා දැනුම උපයෝගි කරගනිමින් මෙම සැලැස්ම නිර්මාණය කිරීමට නියමිත ය.

මෙරට තුළ කාබනික කෘෂිකර්මාන්තය සඳහා පවතින විභවතාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් මෙම මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණ, දින 10ක ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත වූ, ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරන විශේඥයෝ පිරිස මේ දිනවල සිය සොයාගැනීම් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණ සහ ඇගයීම් කාර්යයන් සිදුකරමින් සිටිති. එහි අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කරමින් සෞඛ්‍යමත් රටක් බිහි කරගැනීම වේ. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්ම අංශයෙන් කාබනික කෘෂි අංශය සතු වන්නේ සියයට 2.5ක් අඩු ප්‍රමාණයකි.

”ශ්‍රී ලංකාවේ කාබනික පොහොර අභියෝගය ජයගැනීම සඳහා පුර්වගාමීව මෙවැනි වැඩපිළිවෙලක් සංවිධානය කිරීම පිළිබඳව අපි මහත් සේ සතුටට පත්වෙනවා. ඒ අනුව කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව උසස්ම ආයතන පිහිටා ඇති ස්විට්සර්ලන්තයේ විශේෂඥ කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා යොදාගැනීමට අපට හැකිවුණා”, යනුවෙන් මේපිළිබඳ අදහස් දක්වමින් බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලේසර් මහතා පැවසීය.

‍”විශේෂඥ කණ්ඩායම මේ වනවිට තමන් අනාවරණය කරගත් කරුණු, දේශීය විශේෂඥයින් සමඟ එක්ව විශ්ලේෂණය කරමින් සිටිනවා. ඔවුන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින්, අංග සම්පූර්ණ කෘෂි සැලැස්මක් පිිළියෙළ කර ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් පිළිගැන්වීම, බවර් සමාගම ලෙස අපේ බලාපොරොත්තුවයි”, බ්ලේසර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම විදෙස් විශේෂඥ කණ්ඩායම පසුගියදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය, ජාතික මූලික අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, කාබනික පොහොර පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය, කාබනික කෘෂිකාර්මික ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය(IFOAM), GIZ Sri Lanka, ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩලය ඇතුළු ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඊට අමතරව, කෙරවළපිටිය කසල කළමනාකරණ උද්‍යානය, කාබනික පොහොර නිෂ්පාදනාගාර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, මැනිං වෙළඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ, HTS Hidellana තේ කර්මාන්තශාලාව, ග්‍රෑන්ඩ් හෝටලයේ කසල කළමනාකරණ පද්ධතිය, ලේක් සෙරිනිටි කාබනික තේ වගාව, ගණේමුල්ල සත්ත්ව ගොවිපොළ ආදී ක්ෂේත්‍ර රැසක් නිරීක්ෂණය කිරීමට සහ පුත්තලම, අනුරාධපුරය, ගම්පහ සහ රත්නපුර ප්‍රදේශවල සාම්ප්‍රදායික සහ කාබනික ගොවි ප්‍රජාවන් හමුවීමට ද මෙම විශේෂඥ පිරිස ක්‍රියා කළහ.

ශ්‍රී ලංකාවේ වර්තමාන කෘෂිකර්මාන්තය හා ඒ හා බැඳුණු වෙනත් සාධක ද ඇතුළත් සම්පූර්ණ කෘෂි පද්ධතිය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සංවිධානය කෙරුණි. මෙම අධ්‍යයන චාරිකා අතරතුර වැදගත් විද්‍යාත්මක හා තාක්ෂණික දත්ත රැසක් එක්රැස් කරගැනීමට ඔවුන්ට හැකිවිය. එහිදී විවිධ සංවාද සහ දැනුම හුවමාරු කරගැනීමේ අවස්ථා ආදිය ද සංවිධානය කර තිබුණු අතර, ඒ සෑම අවස්ථාවක් තුළින්ම කරුණු විශ්ලේෂණයට සහ අවසාන අරමුණ ජයගැනීම සඳහා විශාල වටිනාකමක් නිර්මාණය විය.

තව ද කැලණියේ පිහිටි බවර් පොහොර කර්මාන්තශාලා පරිශයේදී ද විශේෂ දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් සහ අනුරාධපුර බවර් පරිශ්‍රයේදී කොම්පෝස්ට් සෑදීම හා කාබනික ගොවිතැන පිළිබඳ ස්ථානීය පුහුණුවක් ද සංවිධානය කර තිබුණි. එහිදී ද විශේෂඥයින්ගේ ප්‍රායෝගික දැනුම එම අවස්ථාවන්ට සම්බන්ධ වූ බවර් සේවකයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට හිමිවිය.

HAFL හි ස්වාභාවික සම්පත් කළමනාකරණ මහාචාර්යවරයෙකු වන ක්‍රිස්ටෝෆ් ස්ටඩර්, FiBL හි ශාක ව්‍යාධිවේදය සහ පාංශු ගුණාත්මක භාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය ජැක්ස් ජී. ෆූච්, HAFLහි ඝර්ම කලාපීය කෘෂි පාරිසරික පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය ගර්බිර් එස් බුලර් සහFiBL හි ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන පෝල් වැන් ඩෙන් බර්ජ් යන මහත්වරු මෙම විශේෂඥ කණ්ඩායමට අයත් වෙති. 

Views: 118