ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවර දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් පවත්වාගෙන සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට තීරණය කළ බව පවසයි. ඊයේ (අගෝස්තු 18) පැවැත්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ සිට පදනම් ඒකක 50කින් ඉහළ නැංවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

මේ සමගම මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 5.0%ක් සහ 6.0%ක් ලෙස පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබේ.

නව කොරෝනාවේ බලපෑමත් සමගින්ම ආර්ථිකය වෙත එල්ල වූ හානිය මඟහැරවීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගෙවුණු කාලය තුළදී ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 4.5%ක් සහ 5.5%ක් ලෙස පවත්වාගෙන යාම සිදු විය.

මේ අතර, ඊයේ ගනු ලැබූ තීරණ අතර බලපත්‍ර ලාභී වාණිජබැංකු සඳහා සෑම රුපියල් තැන්පතුවක් සඳහා වන ව්‍යවස්ථාපිත තැන්පතු අනුපාතිකය 4%ක් දක්වා 2%කින් ඉහළ නැංවීමටත් පියවර ගෙන තිබේ. මෙම තීරණය 2021 සැප්තැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන බව මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම අද වනවිට රටෙහි ආර්ථිකයේ බාහිර සාධක සම්බන්ධයෙන් පවතින අසමතුලිතතාව වෙත පිළිතුරු ලබාදීමක් ලෙස මෙම තීරණ ගත් බව මහ බැංකුව අවධාරණය කරයි.

මෙම තීරණ පිළීබඳ දැනුම් දෙන ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අද (අගෝස්තු 19) පෙරවරු 11ට අන්තර්ජාල Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 413