ධම්මික පෙරේරා කොමර්ෂල් බැංකුවෙහි 14 වැනි විශාලතම කොටස් හිමිකරුවා වුණේ මෙහෙමලු

මෙරට සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවෙහි මුල් කොටස්හිමිකරුවන් 20 දෙනා අතරට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා පවසයි. 2021 ජූනි 30 වැනිදායින් අවසන් වූ 2021/2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා වූ බැංකුවෙහි කාර්තුමය අතරමැදි වාර්තාව තුළ මේ පිළිබඳව සටහන්ව තිබේ.

ඒ අනුව එම දිනය වනවිට ඒ මහතා කොමර්ෂල් බැංකුවෙහි 14 වැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව සිටියි. මෙහිදී ධම්මික පෙරේරා මහතා සතුව බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 16.29ක් හිමිව ඇති අතර, එය සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 1.45%කි.

පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට ජූනි 30 දක්වා වූ මෙම දෙවැනි කාර්තුවේදී කොමර්ෂල් බැංකුවෙහි කොටස් හිමිකමක් පැවැති බ්‍රිතාන්‍ය අරමුදල් දෙකක් වන ඇබර්ඩීන් ස්ටෑන්ඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් හෝල්ඩිංග්ස් ඒෂියා ඩ්‍රැගන් ට්‍රස්ට් සහ එල්එෆ් රෆර් පැසිපික් ඇන්ඩ් එමර්ජින් මාර්කට්ස් ෆන්ඩ් නම් අරමුදල් සිය කොටස් ප්‍රතිශතයයක් අත්හැරීමත් සමගින්ම ධම්මික පෙරේරා මහතාට මෙලෙස එහි මුල් කොටස් කරුවන් 20 දෙනා අතරට පැමිණීමට අවස්ථාව හිමිව ඇත.

පසුගියදා නිකුත් කෙරුණු මෙම කාර්තුමය අතරමැදි වාර්තාවට අනුව මේ අතරින් ඇබර්ඩීන් ස්ටෑන්ඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් හෝල්ඩිංග්ස් ඒෂියා ඩ්‍රැගන් ට්‍රස්ට් අරමුදල සතුව පළමු කාර්තුව නිමා වන විට කොමර්ෂල් බැංකුවෙහි 0.83%ක කොටස් ප්‍රතිශතයක් හිමිව තිබී ඇත.

ඒ සමගම එම සමාගම බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ 16 වැනි ස්ථානයේ පසුව තිබේ. එහෙත් මෙම දෙවැනි කාර්තුව සඳහා වන වාර්තාවේදී එම අරමුදල අදාළ ආයෝජක ලැයිස්තුවේ මුල් 20 දෙනා අතරින් ඉවත්ව ගොස් ඇත.

එම අරමුදල අනාවරණය කර ඇති ආකාරයට මෙම දෙවැනි කාර්තුවේදී ඔවුන් ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් සඳහා සිදු කර ඇති ආයෝජනයන් 0.3%ක ප්‍රතිශතයකින් අඩු කර තිබෙන බව පවසා ඇත. පසුගිය වසරේදී එය 1%කින් අඩු කර තිබේ.

මේ අතර කොමර්ෂල් බැංකුව තුළ තිබූ සිය කොටස් අත්හල අනෙක් අරමුදල වන එල්එෆ් රෆර් පැසිපික් ඇන්ඩ් එමර්ජින් මාර්කට්ස් ෆන්ඩ් 2021 මාර්තු 31 වැනිදායින් නිමා වූ මේ වසරේ පළමු කාර්තුව වන විට බැංකුවෙහි 20 වැනි විශාලතම කොටස්හිමිකරුවා විය. එහිදී 0.66%ක කොටස් ප්‍රතිශතයක් ඔවුන්ට හිමිව තිබී ඇත. කෙසේ වෙතත් දෙවැනි කාර්තුව අවසන් වනවිට එම අරමුදල මුල් කොටස්හිමිකරුවන් 20 දෙනා අතරින් ඉවත්ව ගොස් ඇත.

එහිදී එම අරමුදල ශ්‍රී ලංකාවේ සමාගම් කොටස්  තුළ සිදු කර ඇති ආයෝජනයන් මේ වසරේදී 6.4%ක ප්‍රතිශතයකින් අඩු කිරීම මීට හේතුව වී තිබේ. පසුගිය වසරේදී එම අරමුදල සිය කොටස්හිමිකාරීත්වයන් 7.4%කින් අඩු කර තිබුණු බව පැවසෙයි.

මෙම දෙවැනි කාර්තුව තුළදී කොමර්ෂල් බැංකුවේ කොටසක අගය රුපියල් 79.00ත් 92.00ත් අතර අගයකින් ගනුදෙනු වී තිබේ.

මේ අතර DFCC බැංකුව තවදුරටත් කොමර්ෂල් බැංකුවෙහි තනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස කටයුතු කරන අතර එම බැංකුව සතු කොටස් ප්‍රතිශතය 12.02%කි. එසේම 9.88%ක කොටස් ප්‍රමාණයක් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ ඉන්ද්‍රාද සිල්වා මහතා සතුව ඇත. මීට අමතරව 8.62%ක කොටස් ප්‍රතිශතයක් සේවක අර්ථසාධක අරමුදල වෙත හිමිව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවත් ඍජුව සහ එහි තවත් අරමුදල් දෙකක් හරහා කොමර්ෂල් බැංකුවෙහි 14.4% කොටස් හිමිකාරීත්වයක් දරයි.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ සභාපතිහැරී ජයවර්ධන සතුවත් කොමර්ෂල් බැංකුවෙහි 4.4%ක කොටස් හිමිකාරීත්වයක් සහිත අතර ඔහු අද හයවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා සෘජු කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියනු ලබන මෙරට 4 වැනි වාණිජ බැංකුව බවටද කොමර්ෂල් බැංකුව පත් වනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අද වනවිට සම්පත් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 14.95% කට හිමිකම් කියනු ලබන වැලිබල් වන් පීඒලසී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ධම්මික පෙරේරා මහතා වැලිබල් වන් හි 66.53% ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියයි. ඒසේම පෑන්ඒෂියා බැංකුවේ 29.99% ක කොටස් හිමිකමක් සමඟින් ඒහි අංක 1 කොටස් හිමියා වන්නේ ද ධම්මික පෙරේරා මහතායි. තවද සෙලාන් බැංකුවේ ‌කොටස් ප්‍රාග්ධනයෙන් 9.49%කට සෘජුව හිමිකම් කියන ධම්මික පෙරේරා එහි කොටස්හිමිකරුවන්ගේ ලැයිස්තුවේ 4 වන ස්ථානයේ පසුවෙයි.

Views: 1435