“රුපියල අවප්‍රමාණය කිරීමට කිසිදු බැංකුවක් ඉල්ලලා නෑ” – මහ බැංකුව

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකුවලට වහාම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට හුවමාරු වන පණිවුඩ සත්‍යතාවකින් තොර බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 211ක් දක්වා අවප්‍රමාණය කිරීමට බලපත්‍රලාභී පෞද්ගලික බැංකු විසින් ඉල්ලීම් කර ඇති බවට මෙම පණිවුඩ ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණයකිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහජනතාව වෙත දැනුම් දෙන බව මහ බැංකුව පවසයි.

එසේම සමාජහා සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු මත රඳා නොසිටින ලෙසද මහජනතාවට උපදෙස් දෙන බව මහ බැංකුව සඳහන් කරයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ඕනෑම නිල නිවේදනයක් අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑම බලයලත් නිලධාරියෙකු ගේ නම සහ තනතුරු මගින් හඳුනාගත හැකි වන පරිදි නිකුත් කරනු ලැබේ.” යනුවෙන් එම දෙපාර්තමෙන්තුව මෙම නිවේදනයේ සඳහන් කර සිටියි.

Visits: 213