ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවට අධි දායකත්වයක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී (AMF.N0000) සමාගම පසුගිය ජූලි 29 වැනිදා සිදු කළ රුපියල් මිලියන 500ක වටිනාකමින් යුත් සිය හිමිකම් කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් හිමිව ඇතැයි පවසයි.
ඒ අනුව පසුගියදා මෙම නිකුතුව නිමා වන විට සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 4,694,007ක් සඳහා ඉල්ලුම් ඉදිරිපත්ව තිබූ බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 671ක් (671,243,001ක්) බවත් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ.
මෙම නිකුතුවේදී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 3,497,755ක් නිකුත් කිරීම සිදු විය.
ඒ අනුව ජූලි 29 වැනිදා වනවිට නිකුත් කර තිබූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10ක් නිකුත් කිරීම මෙහිදී සිදු විය. එහිදී කොටසක් රුපියල් 143.00ක් බැගින් මිල කෙරුණු අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් 500,178,965 ක් විය.
මෙම නිකුතුව සිදුකරන අවස්ථාව වන විට ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ ප්‍රකාශිත වත්කම රුපියල් 111,094,976.00 කි.
මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර ඇති උපදෙස් අනුව මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කර තිබුණි..
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමගින් ඒකාබද්ධවීම සිදුවූ අතර, ඉන් ඉදිරියට සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී නමින් පමණක් මෙහෙයුම් සිදු කරයි. එහිදී ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සීහි කොටස්හිමිකරුවන් වෙත යම් අනුපාතයකට ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් ලබාදීමක්ද සිදු විය.

Hits: 178