ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා ගවේෂණයට සයිප්‍රසයේ අවධානය

සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සබඳතාවලට අමතරව ආර්ථික අංශය කෙරෙහි නැඹුරු වූ ක්‍රියාකාරකම් පිළිබඳව ගවේෂණය කළ යුතු කාලය මෙය බව  සයිප්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අභිනව  සභාපතිනි ඇනිටා ඩිමෙට්‍රියෝ මහත්මිය පවසයි.

සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් එම්.එච්.එම්.එන්. බණ්ඩාර මහතා සමගින් ඉකුත් 5 වනදා හමුවී පැවැති සාකච්ඡාවකදී සභාපතිනිය මේ බව සඳහන් කර තිබෙන බව එරට නිකෝසියාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පවසයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත අභිනවයෙන් තේරී පත් වූ සභාපතිනියගේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන ලද උපහාර පණිවිඩයද කොන්සල් ජනරාල්වරයා විසින් ඇයට භාර දීමද මේ හමුවේ දී සිදු විය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරිය සයිප්‍රස්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම නැවත සක්‍රීය කිරීමට තීරණය කළ අතර, දෙරටම සාමාජිකයින් වන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ද එතුමිය කැමැත්තෙන් සිටින බවත් පවසයි.

ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1963 දී ආරම්භ වූ අතර, නේවාසික කොන්සල් ජනරාල් කාර්යාලය 2019 පෙබරවාරි 19 වැනි දින විවෘත කරන ලදි. සයිප්‍රසයේ විවිධ රැකියාවල නියුක්තව 6,000 කට අධික ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් සිටින අතර, නිකොසියා හි පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන දෙකෙහි භික්ෂූන් වහන්සේලා සිව් නමක් වැඩ සිටිති.

කෘෂිකාර්මික නිෂ්පාදන, නැව් තැනීම, ඖෂධ, බොරතෙල් සහ රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩි වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම සඳහා සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවත් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පවසයි.

Visits: 71