රු. මිලියන 940ක විදෙස් ආයෝජන ගලායාම් අතරින් රු. මිලියන 803ක්ම SUN හරහා වාර්තා වෙයි

අද (අගෝස්තු 11) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් විචලනයක් සහිතව පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව ගනුදෙනු අවසානයේදී පිරිවැටුම රුපියල් බිලියන 2.91ක් ලෙස සටහන් වූ අතර එය දින 8කට පසුව වාර්තාකළ අවම අගයද වෙයි.

මේ අතර අද දිනයේදී සන්ෂයින් හෝල්ඩිංග්ස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සිදු වූ විදෙස් ආයෝජන පිටතට ගලායෑම් හි වටිනාකම රුපියල් මිලියන 940ක් ලෙස සටහන්ව තිබේ. මෙය සමස්ත පිරිවැටුමෙන් 31.3%ක් සඳහා දායක වීමත් කැපී පෙනෙයි.

කෙසේ වෙතත් ඉදිරියේදී යම් සාර්ථකත්වයන් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂිත සමාගම් සඳහා වූ ආයෝජන දිනය අවසානයේදී සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළයාමට හේතු වී තිබේ. මේ අතර කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පවතින කණස්සල්ල නිසා ආයෝජකයන් කිහිප දෙනෙකු අතර ලාභ ඉපැයීමේ අවස්ථාවන්ද දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,063.92ත් ඒකක 8,102.47ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,095.57ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 10) දිනයට සාපේක්ෂව ඒකක 24.69ක් එනම් +0.31%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 31.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 99ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 75ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+5.37), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+5.2), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+2.93), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (+2.5), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.23), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.24), වැලිබල් වන් පීඑල්සී VONE (-1.8), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.63), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-1.61), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.44යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,041.17ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 10දා) ‍ට සාපේක්ෂව ඒකක 8.93 ක එනම් +0.29%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.91ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 10දා) වාර්තා කළ රුපියල් බිලියන 4.73ට සාපේක්ෂව -38.4% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.58ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 21.18%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 31.95ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 983.6ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 951.65කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.48ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.5 කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 802.52ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 995ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 34%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 389 ක සහ රුපියල් මිලියන 366ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 416