ගෙවුණු මාස 15කදී සංචාරක කර්මාන්තය වෙත ඩොලර් මිලියන 950ක ආයෝජන හිමිවෙලා

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත 2020 මාර්තු මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා ගතවුණු මාස 15ක කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 950ක ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ ආයෝජන සබඳතා ඒකකය මගින් නිකුත් කරන ලද ආයෝජක අත්පොත නිකුත් කිරීමේ අවස්ථාවට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

මෙහිදී ව්‍යාපෘති යෝජනා 64ක් මේ වන විට ලැබී ඇති බවත්, ඒ අතරින් එක්සත් ජනපද ඩොලර් මිලියන 102.38ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 38ක් සඳහා අනුමැතියන් හිමිව ඇති බවත් එම අධිකාරිය පවසයි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ ආශිර්වාදය යටතේ මෙම ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එම අධිකාරිය සඳහන් කරන ආකාරයට මෙහිදී සැලකිය යුතු මට්ටමේ ඉදිරිපත්වීමක් දේශීය ආයෝජකයන් හරහා හිමිව තිබේ. ඒ අනුව දේශීය සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ඉදිරි අවස්ථාවන් සම්බන්ධයෙන් මෙය ඉතාමත් ධනාත්මක සලකුණක් බවටද පත්ව තිබේ.

ඒ අනුව මෙම ආයෝජකයන් සියලු දෙනා වෙතම වේගවත් සහ වඩාත් පහසු ක්‍රියාපටිපාටියක් වෙනුවෙන් බොහෝ පියවර රැසක්ම මේ වනවිටත් රැගෙන ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිනී කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය, මෙහිදී ජාත්‍යන්තර ආයෝජකයන් උනන්දු කරවීමට සහ එම යෝජනා අනුමත කිරීම් වේගවත් කිරීම සඳහා වන ඇතැම් මූලික ප්‍රතිපත්තීන් යළි සකස් කිරීමක් සිදු කර තිබෙන බවත් සඳහන් කර සිටියි.

“මෙම නව යුගයේ උපායමාර්ගික ආයෝජනයන් රට තුළ මීට පෙර දකින්නට නොලැබුණු ආකාරයේ ඒවා. එම ආයෝජන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව අනාගතයක් කරා දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. මෙම ආයෝජන කටයුතු නියමිත ආකාරයෙන් සිදු කිරීමට අපි සැමවිමට වගබලා ගන්නවා. එය ජාත්‍යන්තර ආයෝජකයන් බලාපොරොත්තුවන අවස්ථාවන් රැසකින්ම සමන්විත වේවි. මෙම අනුමැතීන් සඳහා රජයේ ආයතන හරහා අවශ්‍ය සියලුම ආකාරයේ ලේඛන එක් තනි, භාවිතයට පහසු අයැදුම්පත් පත්‍රයක් ලෙස ඒකාබද්ධ කරමින් ප්‍රධාන ලියවිල්ලක් ලෙස සකස් කිරීමත් ඊට අයත්.” සභාපතිනිය මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 164