මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් බස්නාහිර පළාතේ රැකියා 5,000කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා

පසුගිය මාස කිහිපය තුළ බස්නාහිර පළාතේ සන්නාමලත් නැවුම් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් විසින් නව රැකියා අවස්ථා 5,000කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLACMA) සභාපති, දිමන්ත ජයවර්ධන මහතා පවසා සිටියි.

මෙම වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කරන්නන් හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් හා එක්ව කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම කර්මාන්ත සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් එලි දැක්වීය.

එවක පටන් ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ජයවර්ධන මෙසේ පැවසීය, “සම්මත මෙහෙයුම් පටිපාටිය එලි දැක්වීමෙන් අනතුරව ඇතිවූ නව වාතාවරණයෙන් පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කර්මාන්තයන්හි පාර්ශවකරුවන් ඉතා දිරිමත්ව ක්‍රියා කරමින් සිටිනවා. මෑත අතීතයේදී බොහෝ දෙනෙක් වෘත්තීය පුහුණු අධිකාරියේ ජාතික වෘත්තීය සුදුසුකම් ද, 3-4වන මට්ටම සමත්වී සිටිනවා. ඉන් රාශියක් පෞද්ගලික අංශයේ මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන සමාගම්වල රැකියාවන් සඳහා යොදා ගන්නවා. ඉදිරි වසර දෙක තුනේදී කර්මාන්තය විසින් රැකියා 45,000ක් උත්පාදනය කරන බව අපේ විශ්වාසයයි.”

විවිධ මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කොට රටවල් ගණනාවකට දැනට අපනයනය කරනු ලබනවා. ඒ අතර වායව හා ගල් ටයර් (pneumatic and solid tyres), බැටරි, බුෂ් සහ කාපට් ඇතුළු රබර් අමතර කොටස්, සයිලන්සර්, සීට්, රේඩියේටර්, බොඩි පැනල් සහ රේසින් වර්ගයේ මෝටර් රථ වලටද සුදුසු බම්පර් සහ සීට් බෙල්ට් සහ එයාබෑග් සඳහා සෙන්සර් ස්විච් ද, ට්‍රක් රථ සඳහා ට්‍රේලර්ද වේ.

ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය, “අලුත් ට්‍රක් නිෂ්පාදකයෙක් ළඟදීම වෙළඳපොළට එක්වීමට නියමිතයි. එමෙන්ම, 2021 ඔක්තොම්බර 1 වනදා විට දේශීයව නිපැයුම් කළ යතුරුපැදි දස දහසක් අලෙවි කිරීමට සූදානමක් තිබෙනවා. ඒවායේ විශේෂාංගයක් වන්නේ දේශීයව නිපැයුම් කළ බැටරි, සීට්, වයර් හානස්, ප්ලාස්ටික් හා රබර් කොටස් සහ ටයර් සවිකොට තිබීමයි.”

පසුගිය වසරේ නොවැම්බර මස ඉදිරිපත් කරන ලද 2021 අය වැය තුළින් මෝටර් රථ අමතර කොටස් දේශීයව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහා ප්‍රතිපත්ති මුලපිරීම් ගණනාවක් අඩංගු වුනා. “වර්ධනය වැඩිකර ගැනීම සඳහා කලාපීය සංගම් වලින් තත්ත්ව සහතික ලබා ගැනීමේ ක්‍රියාවලිය අතරතුර, පසුගිය වසරේ ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය (SLACMA) විසින් තීරණාත්මක පියවරක් ලෙස, දේශීය එකලස් කිරීමේ හා අමතර කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා දස-වසරක ප්‍රධාන සැළැස්මක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, “රැකියා උත්පාදනය යතාර්ථයක් වීම ඉතා සතුටුදායක කාරනාවක්. වයර් හානස් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්නේ කාන්තාවන් විසින්. ඒ හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ රැකියා ප්‍රමාණය 60-70%කින් වැඩිවී තිබෙනවා. වසංගත තත්ත්වයේ අභියෝග මැද වූවත්, දේශීය නිෂ්පාදනයේ හා එකලස් කිරීමේ ද, සීඝ්‍ර රැකියා උත්පාදනයේ ද, ඉලක්කයන් ලඟා කර ගත හැකි බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා.” යනුවෙන්ද පැවසීය.

Views: 162