ප්‍රයිම් සමූහය අඛණ්ඩව සිව්වන වරටත් LMD වඩාත් ගෞරවනීය ව්‍යාපාර නාමාවලිය අතරට

දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදී ද අඛණ්ඩව සිව්වන වරටත් එක් වීමට සමත් වී ඇතැයි පවසයි.

දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය ශක්තියෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රයිම් සමූහය මෙම නාමාවලියේ “දේපළ වෙළෙඳ ක්ෂේත්‍ර” ජයග්‍රහනය (Real Estate Sector Winner)   හිමි ව තිබේ. දේපල වෙළෙඳ ක්ෂේත්‍රයේ නායකත්වය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය තුළ ආයතන 134ක් අතුරින් 66 වන ස්ථානය ප්‍රයිම් සමූහයට හිමි ව තිබේ.

මෙම ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා “LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලියට අඛණ්ඩව සිව්වන වරටත්  ඇතුලත් වීම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත් වන අතර මෙම නාමාවලියට ඇතුලත් වන මෙරට දැවැන්ත ව්‍යාපාරික ආයතන හා සසඳා බලන විට මෙය පහසු කටයුත්තක් නොවන බවද අවධාරණය කළ යුතුයි. මෙම ජයග්‍රහනය පසුපස සිටින ප්‍රධානතම බලවේගය වූ අපගේ දැඩි කැපවීමකින් කටයුතු කරන සේවක මඩුල්ල වෙත මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන්නේ මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රයිම් නාමය අංක එකේ ස්ථානයට ඔසවා තැබීම සඳහා ඔවුන් ලබා දුන් අඛණ්ඩ දායකත්වය වෙනුවෙනි.

කෝවිඩ් වසංගතය හමුවේ මුහුණ දී සිටින නව අභියෝග තුළ වුවද,  අප සතු අත් නොහළ උත්සාහය හා ධෛර්යය තුලින් එකී අභියෝගන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කරා  යා හැකි බව සනාථ කිරීමට LMD සඟරාව මඟින් ලද මෙම ඇගයීම මනා නිදසුනක් වන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් පැවසීය.

වසර 26කට ආසන්න සිය ආයතනික ගමන්මග තුල මෙරට දේපළ වෙළෙදාමේ අභිවෘද්ධිය  නව ප්‍රමිතිකරණයෙන්  හඳුන්වදෙමින් ප්‍රයිම් සමූහය දේපළ වෙළෙදාම්  ක්ෂේත්‍රයේ ප්‍රගමනයේ  ප්‍රධානතම බලවේගය බවට පත් ව සිටී. විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකින් සැදුම්ලත් ප්‍රයිම් සමූහය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත සමාගම් වන Prime Lands Residencies PLC, Prime Finance PLC සහ HNB Finance PLC යන සමාගම් අයත් වන අතර Prime Homes Australia සහ Bhoomi Realty යන සමාගම්ද  අයත් වේ.

වාර්ෂිකව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාර නාමාවලිය, මාසිකව ප්‍රකාශයට පත් කරන LMD සඟරාව සහ නීල්සන්ස් සමීක්ෂණ ආයතනය එක්ව ප්‍රකාශයට පත් කරන අතර විවිධ ක්ෂේත්‍රයන් 12ක් ආවරණය කරන පරිද්දෙන් තෝරා ගත් ව්‍යාපාරික ආයතන කළමනාකාරවරුන් සහ ආයතනික ප්‍රධානීන් ගෙන් සමන්විත නියැදියක් තෝරා ගනිමින් එම ආයතනයන්හි මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක බව, කළමනාකරණ මණ්ඩල විශිෂ්ටත්වය, අවංකබව, නවෝත්පාදන, වෙළෙඳපොළ අවශ්‍යතා අනුව සිදු කරන වෙනස්කම්, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම්, ආයතනික දැක්ම සහ රට පිළිබඳව ඇති වගකීම යන නිර්ණායකයන් ඇගයීමට ලක් කෙරේ. 

Visits: 112