ඩෙල්ටා ප්‍රභේදය පළමුවරට වෙළෙඳ පොළ වෙත දරුණු බලපෑමක් එල්ල කරයි

අද (අගෝස්තු 04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. මෙය 2021 අප්‍රේල් 20 වැනිදා වෙළෙඳ පොළ තුළ පැවැති තත්ත්වය හා සමාන බව ඔවුන් සඳහන් කරයි. විශේෂයෙන්ම රට තුළ කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ආයෝජකයන් තුළ පීඩනය වැඩි කිරිමට හේතු වී ඇත. මේ අතර බොහෝ ආයෝජකයන් සිය කොටස් අලෙවි කරද්දී වටිනා සමාගම් සඳහා වන ආයෝජන ආකර්ෂණය තවදුරටත් ඉහළ ගිය බව පැවසෙයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,011.94ත් ඒකක 8,190.76ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,011.94ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 04) දිනයට සාපේක්ෂව ඒකක 198.37ක් එනම් -2.42%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ප්‍රින්ට්කෙයාර් පීඑල්සී සහ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී තුළ සිදු වුණු කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 5.2%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 24ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 187ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+1.03), වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී WATA (+0.5), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+0.29), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+0.23), හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් HAPU (+0.22), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-30.02), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-18.97), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-12.97), වැලිබල් වන් පීඑල්සී VONE (-11.05), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (-5.75යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,037.61ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 04දා) ට සාපේක්ෂව ඒකක 72.36 ක එනම් -2.33%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.07ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 04දා) වාර්තා කළ රුපියල් බිලියන 5.68ට සාපේක්ෂව 10.8% ක පහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.92%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 66.75ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 48.33ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.42කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.60ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ත්‍රී ඒකර්ස් ෆාම්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.4 කි. එසේම ලංකා ටයිල්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 5.76ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,291ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 984 ක සහ රුපියල් මිලියන 597ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 261