දේශීය කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර නැංවීමට DFCC බැංකුවෙන් ‘කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය

මෙරට ආර්ථික සංවර්ධනයට අත්වැලක් වෙමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වන තම ප්‍රතිඥාව සපුරාලීමේ අරමුණ පෙරදැරිව ‘DFCC කෘෂිබල’ නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කර ඇතැයි පවසයි.

දේශීය කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත කටයුතු වල නිරත වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා අනෙකුත් සමාගම් ඉලක්ක කරගෙන මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

‘DFCC කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය යටතේ 7% ක් වැනි සහනදායී ස්ථාවර වාර්ෂික පොලියක් යටතේ රු. මිලියන 100 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි අතර, එම ණය මුදල ආපසු ගෙවීම සඳහා ණය පහසුකමේ ස්වභාවය අනුව වසර 5 ත් 7 ත් අතර කාලයක් හිමි වේ. මෙම ණය යෝජනා ක්‍රමයේ මූලික අරමුණ වන්නේ, COVID-19 වසංගත රෝග ව්‍යාප්තිය නිසා ඇති වූ බලපෑමෙන් මිදී නැවතත් සාර්ථක ලෙස ඉදිරියට යා හැකි ශක්තිමත් පදනමක් නිර්මාණය කරගැනීම සඳහා මෙම ව්‍යාපාර වලට අත්වැලක් වීම ය.

වැවිලි කටයුතු (තේ / රබර් / පොල් / මල් වගාව / භෝග මාරුව/ අන්තර්භෝග වගාව), පශු සම්පත්, කිරි කර්මාන්තය, කෘෂිකාර්මික පිරිසැකසුම් (සහල් මෝල්, ධාන්‍ය පිරිසැකසුම්, පලතුරු සහ එළවළු සැකසුම්, විජලනය කිරීම ආදිය), ගබඩා ඉදිකිරීම සහ ගබඩා පහසුකම් පුළුල් කිරීම, වාණිජ කෘෂිකර්ම හා අධි-තාක්ෂණික කෘෂිකර්ම කටයුතු වර්ධනය කිරීම (පාලිත පරිසර කෘෂිකර්මාන්තය / අපනයන කෘෂිකාර්මික භෝග / කාබනික ගොවිතැන් / තවාන් / බීජ නිෂ්පාදනය / බිංදු ජල සම්පාදනය / පටක රෝපණය ආදිය), සහ කාබනික පොහොර නිෂ්පාදනය හඳුන්වා දීම සහ ධාරිතාව වර්ධනය කිරීම වැනි කටයුතු සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගත හැකි වේ.

මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “මෙම නව ණය යෝජනා ක්‍රමය සමගින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර වල වර්ධනයට මංපෙත් විවර කරමින්, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ‘කෘෂිබල’ යෝජනා ක්‍රමයට හැකියාව තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය ඔස්සේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර වල ආර්ථික හා මූල්‍යමය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය වැඩිදියුණු කිරීම අපගේ තවත් අපේක්ෂාවක්. ‘කෘෂිබල’ ණය යෝජනා ක්‍රමය යනු, DFCC බැංකුව ආර්ථික ශක්තිය හා තිරසාරත්ව කරා යන ගමනේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි අතර, බැංකුවේ දීර්ඝකාලීන අරමුණ හා ක්‍රමෝපාය මගින් ලැබෙන සමාජ-ආර්ථික ප්‍රතිලාභ මෙමගින් අපට පැහැදිලි ලෙස දැකගැනීමට අවස්ථාව ලැබේවි.”

Visits: 132