ඕමාන ආයෝජන සමාගමක් කොළඹ ගුවන්හමුදා මූලස්ථාන භූමිය හා Chalmer’s Granary ගැන උනන්දුවෙන්ලු

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ඉදිකර ඇති කොළඹ 02 පිහිටි භූමිය සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ පිහිටි Chalmer’s Granary ඉඩම සම්බන්ධයෙන් ආයෝජනයන් සිදු කිරීමට ඕමාන රජයට අයත් ආයෝජන හස්තය උනන්දුවක් දක්වා ඇතැයි වාර්තා වෙයි.

අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ. මෙහිදී රජයේ නිල තොරතුරු හරහා තමන්ට මෙම කරුණු දැනගන්නට ලැබුණු බවද පුවත් පත පවසයි.

එසේම මේ වනවිටත් අදාළ ආයෝජන සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමගින් මේ සම්බන්ධයෙන් මූලික එකඟතාවක් අත්සන් තබා ඇති බවත්, ඒ හරහා ඉදිරියේදී මෙම ඉඩම තුළ සිදුකළ හැකි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වන කණ්ඩායමක් එවීමටත් තීරණය කෙරී ඇත. මෙම එකඟතාව සති දෙකක කාලයකදී කල් ඉකුත්වීමට නියමිතව ඇත.

කොළඹ කොටුවේ පිහිටි Chalmer’s Granary ඉඩම 2010 වසරේ සිටම ආයෝජනයන් සඳහා විවෘතව පැවතුණකි. 1914 වසරේදී පිහිටවූ මෙය එකල ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන්වූ ධාන්‍ය ගබඩාවක් ලෙස යොදා ගෙන තිබේ.

පුවත්පත සඳහන් කරන ආකාරයට කටාරයට අයත් තවත් ආයෝජන සමාගමක් කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවත අසල බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය තුළ වන ආයෝජනයක් සඳහාද උනන්දුවක් දක්වන බවද බලධාරීන් පවසා තිබේ.

කොළඹ නගරය සඳහා උරුම නගරයක්, ප්‍රවාහන මධ්‍යස්ථානයක්, මූල්‍යමය නගරයක් සහ වාණිජ නගරයක් යනාදී ලෙස ක්ෂේත්‍ර කිහිපයක් වශයෙන් සංවර්ධනය කිරීමේ සැලසුමක් දැනටමත් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

එසේම රට පුරා පිහිටි තවත් හඳුනාගත් ස්ථාන 40ක පිහිටි ඉඩම්ද ඉහළ, මධ්‍යම සහ පහළ මට්ටමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතින් ලෙස මෙන්ම ආගන්තුක සත්කාර සහ ලෙෂර්, නේවාසික සහ කාර්යාලය කුලුණු, තොරතුරු තාක්ෂණය පාදක සංවර්ධනය, භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ව්‍යපාරික උද්‍යාන සංවර්ධන, බහු මහල් රථ ගාල්යනාදිය ඉදිරිපත් කෙරී තිබේ.

මේ අතරින් බේරේ වැවට මුහුණලා සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සඳහා දැනටමත් ඉඩම් පහක් නම් කිරීමටත් රජය කටයුතු යොදා ඇත.

මේ අතර බස්නාහිර පළාතේ පිහිටි තවත් ඉඩම් කිහිපයක්ම කල්බදු පදනම මත ලබාදීමට නියමිතව ඇති අතර, බොරැල්ලේ පිහිටි වැලිකඩ සිරගෙදර, නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාවට අයත් භූමිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ භූමිය, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, C.W. Mackie PLC සමාගමට අයත් භූමිය, සතොස සමාගමට අයත් ඉඩම් දෙකක් මෙන්ම මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානයත් ඒ අතර වන බව පුවත්පත පවසයි.

මීට අමතරව ආගන්තුක සත්කාර සහ ලෙෂර් අංශය සඳහා වන ආයෝජන වෙනුවෙන් යුනියන් පෙදෙසේ පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල, ටොරින්ග්ටන් චතුරස්‍රයේ පිහිටි 80 club පරිශ්‍රය, කොළඹ 01 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ඉඩම, කොළඹ 07 නොරිස් කැනල් මාවතේ පිහිටි ඉඩම් ඇතුළත් වෙයි. එමෙන්ම බහුමහල් රථගාලක් සඳහා වෙන් කෙරුණු බත්තරමුල්ල නගර මධ්‍යයේ පිහිටි ඉඩමද මේ අතර පවතී.

Views: 120