රාජ්‍ය අමාත්‍ය කබ්රාල් හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවක

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා (21දා) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ආර්ථික මර්මස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව පවසයි. ඒ අනුව හම්බන්තොට කාර්මික කලාපය සහ වරාය, මත්තල ගුවන් තොටුපොළ මෙන්ම මාගම් රුහුණු පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව යනාදී ස්ථානවල වත්මන් තත්ත්වය දැක බලා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා මෙම චාරිකාවේ නිරත වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන කබ්රාල් මහතා, “හම්බන්තොට වරාය , මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ හම්බන්තොට කාර්මික කලාපය එකිනෙකට සම්බන්ධ වූ දැවැන්ත ආයෝජනයකි. මේ වන විටත් කාර්මික කලාපය තුල ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස කිහිපය තුල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට අවශ්‍ය අඩිතාලම දැනටමත් යොදා ඇත.” යනුවෙන් සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබේ.

මේ අතරින් හම්බන්තොට වරාය භූගෝලීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉතා වැදගත් ස්ථානයක ඉදිකළ සුවිශේෂී ව්‍යාපෘතියක් බවද හෙතෙම සඳහන් කර තිබේ.

එසේම යහපාලන රජය සමයේ වී ගබඩා කරන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුල දේශපාලන හේතුන් මත සම්පුර්ණයෙන්ම අත්හරින ලද ව්‍යාපෘතියක් වූ බවත්, ඉන් රටට සිදු වූ පාඩුව බිලියන ගණනක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. ඒ අනුව රටේ ආර්ථික සංවර්ධනයට මෙම ගුවන්තොටුපල දායක කර ගැනීමට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද ඔහු මෙහිදී පවසා තිබේ.

මීට අමතරව සියලු පහසුකම් වලින් සපිරි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වන මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගොස් ඇති රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රධාන ශාලාව තුල පමණක් 1500 ක පමණ පිරිසකට අසුන් ගැනීමේ හැකියාව පවතින බවසඳහන් කර තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකා සඳහා අප අමාක්‍යාශයේ ලේකම් ආර් .එම් .පී රත්නායක, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන කළමනාකාර මහේන් අබේසේකර,  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Views: 77