පශ්චාත් උපාධි පර්යේෂණ දිරිගැන්වීමට කොමර්ෂල් බැංකුව මොරටුව විශ්ව විද්‍යාලය හා එක්වෙයි

ශ‍්‍රී ලංකාවේ තාක්ෂණික උසස් අධ්‍යාපනය සම්පාදනයේ ප‍්‍රමුඛයා වන මොරටුව විශ්ව විද්‍යාලය සමග සංධිස්ථානාත්මක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා දිරිදීමට කොමර්ෂල් බැංකුව ඉදිරියට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව පශ්චාත් උපාධි සිසුන් සඳහා අඩුකළ සුවිශේෂී පොලී අනුපාත යටතේ අධ්‍යාපන ණය ලබාදීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී තිබෙන බව නිවේදනය කර ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වැඩසටහන් සඳහා පිළිගත් පශ්චාත් උපාධිදාරීන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වූ මෙරට පළමු ණය දෙන ආයතනය ලෙසින් කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර මෙම වැඩසටහන යටතේ මෙම සිසුන්ට බැංකුව විසින් රුපියල් 500,000 ක් දක්වා ණය පහසුකම් ලබාදෙයි. මෙම ණයවල වාර්ෂික පොලී අනුපාතය 9.5% ක් බවත් වසර තුනක සහන කාලයක් සහිතව වසර හයකින් මෙම ණය ගෙවා අවසන් කළ යුතු බවත් බැංකුව සඳහන් කරයි.

බැංකුවේ මෙම විශේෂ ණය වැඩසටහන මගින් ගාස්තු කපා හැරීම් සහ පොලිය පමණක් ගෙවන සහන කාලයක් ඇතුළත් දැරිය හැකි නැවත ගෙවීමේ ව්‍යුහයන්ද හඳුන්වා දී තිබේ. බැංකුව සඳහන් කරන්නේ ණය පිළිබඳව අවධානය යොමු නොකර මානසික සහනයෙන් යුක්තව තම පර්යේෂණ කටයුතු සඳහා මෙම සිසුන්ට කාලය වැය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම සහන හඳුන්වා දී තිබෙන බවයි.

මෙම විශේෂ ණය වැඩසටහන පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා ‘පර්යේෂණ කටයුතු කරන ශ‍්‍රී ලාංකේය සිසු ප‍්‍රජාවට මූල්‍ය සහයෝගය අවශ්‍ය යැයි අප හඳුනා ගත්තා. මෙම විශේෂ ණය වැඩසටහන හඳුන්වාදීම මගින් බොහෝ සිසුන් පර්යේෂණ කටයුතු සඳහා සහභාගීවීම දිරිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මෙරට දැනුම් සම්භාරය පුළුල් වෙමින් නවෝත්පාදනය සඳහා මග පෑදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.’ යනුවෙන් පවසයි.

Visits: 202