ලාෆ්ස් ගෑස් සමාගම LP ගෑස් ආනයනය හා බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම දේශීය පරිභෝජනය වෙනුවෙන් LP ගෑස් ආනයනය සහ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පවසයි. ගෑස් මිල සංශෝධනය සඳහා රජය සමගින් මෙතෙක් පැවැති සාකච්ඡාවන්හි අවසන් එකඟතාවක් මෙතෙක් හිමි නොවීම ඊට හේතුව බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම මෙම කරුණු සඳහන් කර සිටියි.

“LP ගෑස් ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා සාධාරණ මිල ගණන් යටතේ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන් සමගින් කාලයකට සිට සාකච්ඡා කරමින් සිටිනවා. විශේෂයෙන්ම ලෝක වෙළෙඳ පොළේ LP ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යාම හේතුවෙන් මෙලෙස එම ගෑස් ගොඩබෑමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.” සමාගම පවසයි.

ඒ අනුව මේ හේතුවෙන් සමාගමේ LP ගෑස් සැපයුම් වෙත කෙටි කාලීනව බාධාවීමක් සිදු වනු ඇති බවත්, එය සිය පාරිභෝගිකයන් අපහසුතාවට පත්වන බවත් සමාගම පවසයි.

එහිදී බලධාරීන් සමගින් තවදුරටත් සාකච්ඡා කරමින් දේශීය LP ගෑස් සැපයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි උපරිමව කටයුතු කරන බවද ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම තත්ත්වයත් සමගින්ම ලාෆ්ස් ගෑස් පීඑල්සී මගින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමූහය වෙත ලබා දෙන දායකත්වය අඩු වුවත්, ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගම් මගින් ලාෆ්ස් ගෑස් සමූහය වෙත දක්වන දායකත්වය එලෙසින්ම වන බවත්, එම සමාගම්හි ව්‍යාපාර මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 375