විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට හරහා මාස හයකදී රුපියල් මිලියන 251ක බදු ආදායමක්

මෙරට මාධ්‍ය තුළ විකාශය කෙරෙන විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා බදු අය කිරීම පසුගිය පෙබරවාරි මාසයේ සිට නැවතත් ආරම්භ කිරීමත් සමග මේ දක්වා ඒ හරහා රජයට රුපියල් මිලියන 251ක බදු ආදායමක් හිමිව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී මෙම බදු අය කරගැනීම නතර කොට තිබුණි.

ඒ අනුව මෙසේ අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලි නාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, ජී. කරුණාකරන්, එස්. ගජේන්ද්‍රන්, සානක්කියන් රාසමානික්කම්, උද්දික ප්‍රේමරත්න, ඩයනා ගමගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක, ජාතික රූපවාහිනියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 101