“අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට යන ප්‍රචාර අසත්‍යයක්” – මුදල් ඇමති බැසිල්

වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෙරේදා (20) අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්,  ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.

එසේම තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට  සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ද මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්,  අනවශ්‍යය වියදම්, නාස්තිය දූෂණය අවම කරමින්  මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලුම මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ  ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය දෙමින් එන්නත් මිල දී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව  මුදල් වෙන් කිරීමට  අමාත්‍යාංශය කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාවය දී ඇති හෙයින් කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවිය හැකි බවට ද අමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පළ කර තිබේ.

හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර  එම  යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද රාජපක්ෂ මහතා මෙහි දි සඳහන් කර ඇත.

තාක්ෂණය ආශ්‍රිත රැකියා මගින් මේ වන විටත් බිලියන 1.2 ක පමණ ආදායමක්  මෙරටට ලැබෙන අතර, විදේශ රටවල් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවයක් ඇති හෙයින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙම හමුවේදී සඳහන් කළේය.

ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා ඒ අනුව ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ  වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දී ඇත.

ආයෝජකයින් අපහසුතාවයට පත්වන අවස්ථා විධිමත්ව හඳුනාගෙන එවැනි අවස්ථා අවම කරමින් ආයෝජකයින් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බව ද  මුදල් අමාත්‍යවරයා මෙහිදි පවසා තිබේ.

Visits: 124