EXPO තුළ සිදු වූ ගනුදෙනු සමග පිරිවැටුම රු.බිලියන 6 ඉක්මවයි

අද (ජූලි 19) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පෙන්නුම් කළ අසාමාන්‍ය ගනුදෙනු හේතුවෙන් වෙළෙඳ පොළ ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී දිනයේ පිරිවැටුම සඳහා එම සමාගමේ ගනුදෙනු 40%ක දායකත්වයක් ලබා දී ඇත. මේ අතර දිනයේ විදේශ ආයෝජන පිටතට ගලායාම්ද පිට පිට දෙවැනි දිනටත් රුපියල් බිලියනය ඉක්මවන අවස්ථාවක්ද අද දිනයේදී වාර්තා වූ බව එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,968.37ත් ඒකක 8,034.46ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,022.55ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූලි 16) දිනයට සාපේක්ෂව ඒකක 55.6ක් එනම් +0.70%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව සහ ටීජේ ලංකා පීඑල්සී කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 14%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 84ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 98ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+36.62), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+20.11), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+9.73), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.94), වැලිබල් වන් පීඑල්සී VONE (+6.43), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-22.69), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-3.64), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.44), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.11), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී පීඑල්සී CARG (-1.74යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,081.94ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 16දා) ‍ට සාපේක්ෂව ඒකක 51.67 ක එනම් +1.71%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.22ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 16දා) වාර්තා කළ රුපියල් බිලියන 3.08ට සාපේක්ෂව 102% ක ඉහළ යාමකි.  

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 20.06%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 14.34ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.02ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් බිලියන 1.01කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 32.03ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.21 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 525.76ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,504ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 40%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,307ක සහ රුපියල් මිලියන 569ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 362