අගමැති අතින් හෙට විවෘත කෙරෙන ජාතික සඳුන් උයන

බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කෙරුණු “ජාතික සඳුන් උයන” විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පස්වරු 6.00 ට සිදු කෙරෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හරිත කළාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම සඳුන් උයන නිර්මාණය කර තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්වය මධ්‍යයේ 2020 වර්ෂයේ ජූලි මස 20 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කෙරුණු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක මෙය ඉදි ව ඇත.

අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 29කට අධිකය. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.

ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වන අතර ඒවා වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ උස පස් පීඨිකාවක සිටුවා තිබීම විශේෂත්වයකි.

ජාතික සඳුන් උයනට පිසිවෙන ස්ථානයේ ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විත විශාල ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ඒ මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහළ බිත්ති අටක් බැද ඇති අතර ඒ බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවයි. වර්ණවත් වන්නේ මල් ගොමු, ස්වයංක්‍රීය වතුර මල්, කුඩා පොකුණු 12, එළිමහන් රංග පීඨය ආදී අංග රැසකින් මෙය සමන්විත අතර ව්‍යායාම කිරීම, භාවනා හා යෝග වැඩසටහන් පැවැත්වීම, විවේකිව කාලය ගතකිරීම ආදියට සුදුසු පරිසරයක් මෙහි පවතී.

වාහන 60 ක් නැවත්වීමට හැකි විවෘත රථගාලක්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ආහාර පාන ලබා ගැනීම සඳහා වන අවන්හල් ආදියෙන් ද මෙය සමන්විතය.

රජ දවස රාජ්‍ය අනුග්‍රහය ලැබ උයන් ඉදිවූවාට පසු, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉඳිවූ ජාතික සඳුන් උයන මෙය බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Visits: 79