Hela Clothing බ්‍රිතාන්‍යයේ Fashion Retail Academy හා හවුල්කාරීත්වයකට

ලොව සුප්‍රසිදිධ සන්නාම වෙනුවෙන් නිමි ඇඳුම් නිපදවන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ ඇගලුම් සමාගමක් වන හෙල ක්ලෝතින්ග් (Hela Clothing) සමාගම බ්‍රිතාන්‍යයේ Fashion Retail Academy හා හවුල්කාරීත්වයකට පිවිසි බව පවසයි. කර්මාන්තය තුළ මීළග පරම්පරාවේ වෘත්තිකයන් බිහි කිරීම සඳහා මෙ පියවර ගත් බව හෙල ක්ලෝතින්ග් සඳහන් කරයි.

විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ අනාගතය හැඩ ගැස්වීම වෙනුවෙන් මෙවැනි හවුල්කාරීත්වයක් වඩාත් වැදගත් බව එම සමාගමේ අදහස වී තිබේ. එසේම මේ හරහා එකිනෙකාගේ අදහස් හි  සිදුවන හුවමාරුවීම් මෙන්ම ඉන් තවදුරටත් වෙළෙඳ පොළ අවස්ථා විවෘත වීමත් කැපී පෙනෙන බව Hela Clothing සමාගම පවසයි.

“මෙහිදී අපගේ ඇඟලුම් නිෂ්පාදන විශේෂඥයන් සහ Fashion Retail Academy හි දක්ෂතාව සමගින් ඇති කරගෙන තිබෙන මෙම සම්බන්ධතාව මගින් ඉදිරියේදී තිරසාරත්වය අරමුණු කරගත් නිෂ්පාදන විකල්ප වෙත යාමට හැකිවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද සමාගම සඳහන් කර තිබේ.

ඒ හරහා සැමටම වඩාත් පැහැදිලි අනාගතයක් සුරක්ෂිත කරගැනීම සඳහා වන සමාගමේ ඉදිරි කටයුතු සමගින් මෙය ඉතාමත් හොඳින් ගැලපෙන අවස්ථාවක් බවට පත්ව  තිබෙන බවත් Hela Clothing සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Hela Clothing සමාගමෙහි මෙරට කර්මාන්තශාලාව බියගම පිහිටා තිබේ. කෙසේ වෙතත් සමාගම සඳහන් කරන ආකාරයට අදවනවිට එහි සමස්ත ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිටදීය.

අද වනවිට රටවල් තුනක පිහිටි Hela Clothing කර්මාන්තශාලා හතක සේවය කරන පිරිස 15,000කට අධික වෙයි. එසේම Hela Clothing යනු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක වටිනාකමක් සහිත සමාගමක් බවත් පවසයි. ලොව සුප්‍රසිද්ධ Tommy Hilfiger සහ Calvin klein යන විලාසිතා සන්නාමවල ඇඟලුම්හි මෙරට නිෂ්පාදකයා වන්නේ එම සමාගමයි.

එසේම ඉදිරි මාස 12ක කාලයක් ඇතුළතදී කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික කොටස් නිකුතුවක් සිදු කිරීමටද Hela Clothing සූදානමින් සිටින බව වාර්තා වෙයි.එම සමාගම් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලංක ජිනදාස මහතා පසුගියදා බ්ලූම්බර්ග් වෙබ්අඩවිය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් අතරවාරයේදී මෙම කරුණු පවසා තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක් වටිනා Hela Clothing සමාගමේ 20%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙලෙස රැස් කරගන්නා ප්‍රාග්ධනය සිය සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් උතුරු අප්‍රිකානු කලාපය වෙත අවතීර්ණ කිරීමටත්, දැනට සිදු කරන නැගෙනහිර අප්‍රිකානු කලාපීය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටත් යොදා ගන්නා බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී සඳහන් කර තිබේ.

සමාගමේ වත්මන් සභාපතිවරයා වන්නේ ඒ.ආර්. රාසයියා මහතාය. එසේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ඩිලංක ජිනදාස (ප්‍රධාන විධායක/අධ්‍යක්ෂ), අරෝෂි පෙරේරා (විධායක නොවන අධ්‍යක්ෂ), අජිත් විජේසිංහ (විධායක නොවන අධ්‍යක්ෂ), ‍ට්‍රීෂෘ පීරිස් (විධායක නොවන අධ්‍යක්ෂ), ගයාන් ගුණවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ) සහ ෂ්ලොමෝ ඩොරොන් යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

Visits: 106