BIL සහ PALM සිදු කළ අනාවරණ LOLC සමූහයේ වටිනාකම් තවත් ඉහළ නංවයි

අද (ජූලි 13) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සුපුරුදු පරිද්දෙන් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී ආයෝජකයන් තුළ ඉහළ කැමැත්තක් පවතින වටිනා සමාගම් තුළ ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇත විශේෂයෙන්ම දිනය ආරම්භයේදීම BIL සහ PALM සිදුකළ අනාවරණය LOLC සමූහයේ සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා වන තරගය වැඩි කර ඇත.

මේ අතර රටෙහි සංචරණ සීමා යම්තරමකින් තවදුරටත් ලිහිල් කිරීමත් ආයෝජකයන් තෘප්තිමත් කිරීමට හේතුවක් වී ඇතැයිද තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් රටෙහි විදේශ මුදල් සංචිත පිළිබඳව වන කනස්සල්ල තවදුරටත් එලෙසින්ම වන බවද එම සමාගම් සඳහන් කර සිටියි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,883.53ත් ඒකක 7,726.02ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,913.47ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 12) දිනයට සාපේක්ෂව ඒකක 47.0ක් එනම් +0.60%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී සහ ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී නිෂ්ඡන්ද කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 5.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 58ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+6.54), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+5.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.25), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+3.12), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.85), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-5.37), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.76), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.67), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.46), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-1.02යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,002.27ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 12දා) ‍ට සාපේක්ෂව ඒකක 14.52 ක එනම් +0.49%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.93ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 12දා) වාර්තා කළ රුපියල් බිලියන 2.26ට සාපේක්ෂව 15% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.5ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.33%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 24.65ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 232.31ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 207.66කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.33ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.13 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 119.15ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 368ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 19%කි. එසේම ප්‍රවාහන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 309ක සහ රුපියල් මිලියන 298ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 482